Thursday 23 August 2012

සරසවි ඇදුරු අපරාජිත අරගලයට දින 51 යි: කොළඹ රැළිය අති සාර්ථකයි: මහ වැසි නොතකා දස දහස් ගණනින් පැමිණෙත

රාජ්‍යය රැකගන්නවා යැයි කියන්නේ රජයේ ඇමැතිවරු වැඩි කිරීම නොව රාජ්‍ය අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය රැක ගැනීම යැයි සරසවි ආචාර්ය වරුන්ගේ සම්මේලනය මගින් අද කොළඹ දී පැවැත්වූ දැවැන්ත මහජන රැලියේදී එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැමිණ සිටි මහා ජනතාව අමතා කීවේ සරසවි ඇදුරුවරුන් විසින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා ඇරඹූ ජාතික සටන අද සිට මහජනතාවට බාර කරන බවයි. මේ වන විටත් කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන මෙම මහා ජන ගංගාවට කොළඹට වට මහ වැසි නොතකා දස දහසකට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටිති. සරසවි ඇදුරන් විසින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 51 ක් සපිරුණි. වැටුප් නොගෙන ඔව්හු වරජනයේ නිරතව සිටිති.. රාජ්‍ය විශ්ව විද්‍යාල රැක ගනිමු. ජාතික ආදායමෙන් සියයට 6 ක් අධ්‍යාපනයට වෙන් කරනු යන ප්‍රධාන සඨන් පාඨය පෙරදැරි කරගෙන සරසවි ඇදුරු සම්මේලනය සූදානම් කළ මේ මහා රැලියට සහභාගී වීමට විවිධ වෘත්තීය සමිති විවිධ බහුජන සංවිධාන විපක්ෂ විශාල සංඛ්‍යාවක් සහාය දක්වමින් පැමිණ සිටියහ. මෑත කාලයේ මෙතරම් ජන සහායක් ලත් තවත් රැළියක් කොළඹ පවත්වා නැත. මහජන සහභාගීත්වය නිසා වාහන ගමනාගමනය පවා බිඳ වැටිණ. සරසවි වසා දැමීමත් ඉසෙඩ් අර්බුදය නිසා සරසවි වරම් හීනයක් වී ඇති සිසුන්ගේ තත්ත්වයත් වත්මන් අපොස උසස් පෙළ විභාගය අවුල් වී තිබීමත් හේතුවෙන් රටේ විශාල අවධානයක් මේ ප්‍රශ්නය ගැන යොමු තිඛෙන යුගයක මෙවැනි රැලියක් අති සාර්ථක වීම දේශප්‍රේමී මහ ජනයාගේ සතුටට හේතු වනවා ඇත. රැස්වීමට පෙර සරසවි ඇදුරු සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහිම් මෙන්ඩිස් මහතා කීවේ මේ සරසවි ඇදුරුවරුන් ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල වලින් සිය ආචාර්ය උපාධි නිමවා ලෝකයේ ඕනෑ තරම් විදේශ සරසවි වල ඉගැන්වීමට අවස්ථාව තිබියදී ශ්‍රී ලංකාවට පැමිණ සේවය කරන්නේ රටට ඇති ආදරයට බවත් එවැනි ආචාර්ය වරුන් මේ කපුටු පාලකයන්ට රැවටෙන්නේ නැති බවත්ය. මම අරගලය ජයග්‍රහනයෙන් මිස නිමා නොකරන බවත් හේ ශපථ කෙළේය. නෙළුම් පොකුණ මාවත යැයි මරා විසින් හඳුන්වා ගන්නා කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට එක් පෙළපාලියක් ද කොම්පඤ්ඤ වීදියෙන් තවත් පෙළපාලියක් ද මරදාන පාලම අසලින් තවත් පෙළපාලියක් ද ලෙස පෙළපාලි තුනකින් රැලියට සහභාගී වීම සඳහා ආචාර්යවරු සහ මහජනතාව පැමිණීම විශේෂත්වයක් විය. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පැමිණි ආචාර්යවරුන්ට අපගේ ප්‍රණාමය ලෙස සඳහන් කළ බැනරයන් රැගත් දෙමාපියන් ස්වේච්ඡාවෙන් සහභාගී වී සිටීමද විශේ්ෂත්වයක් විය. නාග විහාරාමාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ආචාර්ය දඹර අමිල හිමියෝ ඇතුළු විශාල පූජ්‍ය පූජක පිරිසක් ද සහභාගී වී සිටිති. මේ වන විටත් රැස්වීම පැවැත්වේ.

No comments:

Post a Comment