Tuesday 21 August 2012

වෛද්‍ය පීඨ හැර සියලු විශ්වවිද්‍යාල එස්.බි. වසා දමයි

වෛද්‍ය පීඨ හැර සියලු විශ්වවිද්‍යාල අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ, විශ්වවිද්‍යාල විවිධ මට්ටමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹ සිටින බවය. ඇතැම් විශ්වවිද්‍යාල ඊට එක්ව නැති අතර මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාල පද්ධතිය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න පැහැදිලි නොමැති ව්‍යාකූල තත්ත්වයක පවතින බව එහි සඳහන්ය. පවතින වාතාවරණය ඉදිරියේ දී නරක අතට හැරීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු බවට ඊයේ ගත් තීරණය මත මෙම පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. ඒ අනුව වෛද්‍ය පීඨ හැර කොළඹ, පේරාදෙණිය, ශ්‍රි ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රුහුණ යන විශ්වවිද්‍යාලවල සියලු පීඨ වසා තැබෙනු ඇති. ඊට අමතරව මොරටුව, සබරගමුව, වයඹ යන විශ්වවිද්‍යාලත්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලත් වසා තැබෙන බව අදාළ නිවේදනයේ සඳහන්ය. සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යාපීඨය හැර , නැගෙනහිර විශ්ව විද්‍යාලයත්, වෛද්‍ය සහ සමාන්තර විද්‍යාපීඨය හැර රජරට විශ්වවිද්‍යාලයත් මේ අනුව තාවකාලිකව වසා දමා තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ දේශිය ව්‍යෛ විද්‍යායතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනය, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනය, ශ්‍රිපාලි මණ්ඩපය, ත්‍රිකුණාමල මණ්ඩපය සහ වවුනියා මණ්ඩපය ද එලෙස තාවකාලිකව වසා දමා ඇති බවයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම සියලු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරිමේ දිනයක් ඉතා ඉක්මනින් රජය ප්‍රකාශයට පත් කරනු ඇති බවය.

No comments:

Post a Comment