Tuesday 21 August 2012

දුමින්ද අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කරන්නැයි, ඉල්ලීමක්

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගෙන් කට උත්තරයක් ලබාගෙන තිබියදීත් රහස් පොලීසිය ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියැද්ද මහතා අද විවෘත අධිකරණයේදී ප්‍රශ්න කර සිටියේය. ඔහු මෙලෙස ප්‍රශ්න කර සිටියේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයට අදාළ පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳ වූ අවස්ථාවේදීය. සැකකරුවන් 16 දෙනා අද බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පරීක්ෂණවල ප්‍රගතිය දැනුම් දුන් රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි චානි අබේසේකර මහතා සමග පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ලමාහේවා මහතා පවසා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව සමග අවස්ථා තුනකදී සාකච්ඡා කළ ද මේ වන තෙක් උපදෙස් ලැබී නොමැති බවයි. ඉකුත් ඔක්තෝබර් 8 වැනි දින මෙම වෙඩි හුවමාරුව සිදුවු ස්ථානයේ තිබූ දුමින්ද සිල්වාට සහ භාරත ලක්ෂමන් මහතාට අයත් වාහන දෙකක තිබී සොයා ගන්නා ලද උණ්ඩ කොටස් දෙකක් සම්බන්ධයෙන් විශ්ලේෂණය අවසන් කර ඇති බව පොලීසිය අධිකරණයට දැණුම් දී තිබේ. ඒවා අධිකරණය වෙත යොමුකරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට නියම කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ඝාතන සිද්ධින්ට අදාළව දුමින්ද සිල්වා මහතා සැකකරුවෙකු ලෙස නම් කර කටඋත්තර ලබාගෙන ඇති නමුත් ඔහු අත්අඩංගුවට නොගන්නේ කුමන හේතුවක් නිසාදැයි තමා ප්‍රශ්න කර සිටින බව ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා දන්වා සිටියේය. දුමින්ද සිල්වා මහතා‍ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා දැනුම් දුන්නේ මෙම පැමිණිල්ල කැඳවන මහේස්ත්‍රාත්වරයා අද අධිකරණයේ නොමැති බැවින් ටිරන්ත වළලියැද්ද ප්‍රශ්න නගන්නේ නොදැනුවත්ව බවයි. සිල්වා මහතාට මේ මාසය අවසානයේදී ශල්‍යකර්ම දෙකක් කිරීමට නියමිත බැවින් වෛද්‍යවරුන් ඔහු ලංකාවට පැමිණෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නැතැයි ද වර්ණකුලසුරිය මහතා සඳහන් කළේය. කෙසේවෙතත් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියැද්ද මහතා දුමින්ද සිල්වා මහතාව අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේත්‍රාත් කේ.ඒ.ජී. පුංචිහේවා මහත්මිය සැකකරුවන් ලබන 4 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබිමට නියම කළ අතර එදින මෙම පැමිණිල්ල යළි කැඳවීමට නියෝග කළේය.

No comments:

Post a Comment