Friday 17 August 2012

සෙවනගල නොසන්සුන්: පොලීසියේ තිදෙනකුට, මන්ත්‍රීවරයකුට තුවාල

උඩවලව වැවෙන් පෝෂණය වන ඇළක් හරස්කර අනවසරයෙන් ඉදිකළ බැම්මක් ඉවත් කිරීමට මහවැලි නිලධාරින් ගත් උත්සාහයේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, කළහකාරීව හැසිරුණු සෙවනගල ප්‍රදේශවාසීන් පිරිසක් පාලනය කිරීමට පොලීසියට සිදුවු බවයි. ඊයේ සවස සිදුවු එම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට ගත් උත්සාහයේදී පොලිස් නිලධාරින් තිදෙනෙකු හා සෙවනගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකුද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අක්කර අඩි දෙලක්ෂ දාහත් දහසක ජල ධාරිතාවක් හිමි උඩවලවේ ජලාශයේ ජල මට්ටම වියලි කාලගුණය හේතුවෙන් අක්කර අඩි 535 දක්වා පහත බැස තිබේ. උඩවලවේ ජලාශයෙන් ආරම්භ වන වම් ඇළ සෙවනගල , කිරිඉබ්බන්ආර , සූරියවැව හරහා මයුරපුර දක්වා වූ කුඹුරු හෙක්ටයාර 12000 ක් පමණ පෝෂණය කරයි. පසුගිය සති දෙකක පමණ කාලයක සිට සූරියවැව ප්‍රදේශයේ ගොවීන් විරෝධතාවේ නිරත වූයේ වම්ඇළ හරහා තම වගා බිම්වලට නිසි ලෙස ජලය නොලැබෙන බව පවසමිනි. මහවැලි අධිකාරියේ උඩවලව නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංක ගුණතිලක මහතා ප්‍රකාශ කළේ, වම්ඇල සෙවනගල ප්‍රදේශයේදී අනවසර ගල්වැටි යොදා හරස් කිරීම මෙම ගැටලුවට හේතුවී ඇති බවයි. කෙසේ වෙතත් කිරිඉබ්බන් ආර ජලාශයට ජලය රැගෙන ගිය ද මේ වන විට කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී ඇල හරහා තවත් අනවසර බැම්මක් ඉදිකර ඇති බව ද නේවාසික ව්‍යාපාරික කළමනාකාරවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment