Sunday 19 August 2012

සහෝදරත්වය, සාමය ආරක්ෂා කිරීමට මෙම රාමසාන් දිනයේ අධිටන් කරගනිමු - ජවිපෙ

තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනීම සඳහා මුස්ලිම් ජනතාව එකිනෙකාට එරෙහිව ගැටෙන තත්වයකට පත්කරනු ලැබ ඇති නායකයින්ගෙන් කැඞී වෙන්වී සහෝදරත්වය, සාමය ආරක්ෂා කරන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය රාමසාන් පණිවිඩයෙන් සඳහන් කරයි. එම පක්සයේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව එවා ඇති එම පණිවිඩය පහත පළවේ. "ශ‍්‍රී ලාංකේය ඉස්ලාම් බැතිමතුන් මෙන්ම ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ද සිය ආගමානුකූලව සමරන රාමසාන් දිනය අදට (19) යෙදී තිබේ. අදට යෙදෙන රාමසාන් දිනයට පෙර සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමත්තු උපවාස ශීලය රකිති. දුෂ්කර ජීවිත ගත කරන තමන්ගේ සහෝදර ජනයාට උදව් උපකාර කිරීමට එම කාලය තුළ ඔවුහු ක‍්‍රියා කරති. නැති බැරි අයට උදව් කිරීම සඳහා ඇති හැකි අය මෙම කාලයේ ක‍්‍රියා කරති. මෙම උපවාස කාලය තුළදී විශේෂයෙන්ම අගය කිරීමට ලක් වන්නේ සහෝදරත්වය, අල්පේච්ඡුතාව, පරාර්ථකාමය ආදී ගුණාංගයන්ය. සියලුම සම්පත් සහෝදරත්වයේ පදනම මත සියලු දෙනා අතරේ සමානව බෙදී යා යුතුය යන අදහස මුල් කර ගනිමින් ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන මෙම උපවාස කාලය මෙන්ම රාමසාන් උත්සවයද සුවිශේෂී වැදගත්කමකින් යුක්ත බව පැහැදිලිය. එහි ආදර්ශය ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොව සෙසු ජනතාවටද වැදගත් යැයි අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් මේ මොහොතේ ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව අතර පවතින සහෝදරාත්මක බැඳීම් සමහර මුස්ලිම් නායකයන් විසින් විනාශ කරනු ලබමින් පවතින බව අපි අවාධාරණය කරමු. මුස්ලිම් නායකයන් විසින් තම දේශපාලන වුවමනාවන් සපුරා ගැනීම සඳහා මෙසේ මුස්ලිම් ජනතාව එකිනෙකාට එරෙහිව ගැටෙන තත්වයකට පත්කරනු ලැබ ඇත. එවැනි පටු අරමුණු සඳහා සාමකාමී ජනකොටසක් බෙදා වෙන්කර ගැටෙන තැනකට ඇද දැමූ මුස්ලිම් නායකයින් අපි හෙළාදකිමු. එවැනි නායකයින්ගෙන් කැඞී වෙන්වී සහෝදරත්වය, සාමය ආරක්ෂා කරන ලෙස අපි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිමු. රාමසාන් උත්සවය පවත්වන ඉස්ලාම් බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ උණුසුම් සුභපැතුම් පිරිනමමු."

No comments:

Post a Comment