Saturday 1 September 2012

ඉන්දියාවේ හිට්ලර්ට ඊශ්‍රායලයේ විරෝධය

ඉන්දියාව මෑතක දී හිට්ලර් නමින් රෙදිපිළි අලෙවි සංකීර්ණයක් විවෘත කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විරෝධය පළ කරයි. මුම්බායිහි ඊශ්‍රායල් කොන්සල් ජෙනරාල්වරයා පවසන්නේ මෙය සමස්ත යුදෙව්වන්ට කළ රිදවීමක් බව ය. මීට දින 10කට පෙර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි දී හිට්ලර් නමින් පිරිමි ඇඳුම් අලෙවි සැලක් විවෘත කෙරිණ. එහි ඉදිරි පස දැවැන්ත අකුරින් හිට්ලර් ලෙස සඳහන් කර ඇති අතර පුවරුවේ අයි ( I ) අකුරේ ශීර්ෂය නිර්මාණය කර ඇත්තේ නාසීන්ගේ ස්වස්ථික ලකුණෙනි. ‍ කෙසේ වෙතත් වෙළඳසල් හිමිකරු පවසන්නේ මින්සුන් මිලියන ගණන් ඝාතනය කළ හිට්ලර් නම් පුද්ගලයෙකු පිළිබඳ තමන් දැන නොසිටි බවය. නව වෙළඳසළට එම නම තැබුවේ සිය ව්‍යාපාරික සහකරුගේ මුත්තණුවන් සිහිවීමට බවත් ඔහු තුළ පැවති දරදඬු ස්වරූපය හේතුවෙන් බොහෝ දෙනෙකු ඔහු හිට්ලර් ලෙසින් හැඳින් වූ බවත් හිමිකරු පවසා තිබේ. කෙසේ වෙතත් වෙළඳසළේ නාමය වෙනස් කිරීමට තමා සූදානම් බවත් ඒ සඳහා ඔහුට ප්‍රවර්ධන කටයුතු සඳහා වැය වූ ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල වන්දි වශයෙන් අවශ්‍ය බවත් හිමිකරු පවසයි. ඒ අතර ගත වූ සියවසේ මැද භාගය ලෝක යුද්ධයක් කරා යොමු කළ ජර්මන් ආඥාදායකයාට බුහුමන් දක්වන පිරිසක් ද ඉන්දියානු සමාජයේ වර්ධනය වෙමින් සිටින බවත් හිට්ලර් හා නාසිවාදීන් පිළිබඳ ග්‍රන්ථවලට ඉන්දීය සමාජයේ නොවෙනස් ඉල්ලුමක් පවතින බවත් විචාරකයෝ පවසති.

No comments:

Post a Comment