Friday 7 September 2012

පළාත් තුනේ ඡන්දෙට සියල්ල සුදානම්

උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය හෙට පැවැත් වේ. සභිකයන් 114 දෙනෙකු තෝරා ගැනීම සඳහා මැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 3073 කි. නැගෙනහිර ඡන්ද මධ්‍යස්ථාන 1163 කදී , උතුරුමැද ඡන්ද මධ්‍යස්ථානය 895 කදී සහ සබරගමුව ඡන්ද මධ්‍යස්ථාන 1189 කදී ඡන්දය පැවැත්වීමට නියමිතයි. නැගෙනහිර පළාත් සභාව සඳහා අපේක්ෂකයන් 37 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබේ. ඒ සඳහා මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්දය ක්‍රියාත්මකයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා, මඩකලපුව සහ පදිරිප්පු ඡන්ද බල ප්‍රදේශවල ඡන්දය පැවැත්වෙනු ඇති. අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, සමන්තුරෙයි, කල්මුණේ සහ පොතුවිල් ඡන්ද බල ප්‍රදේශ ක්‍රියාත්මකයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය, සේරුවිල සහ මුතූර් ඡන්ද බල ප්‍රදේශවල ඡන්දය පැවැත් වේ. උතුරුමැද පළාත් සභාව සදහා සභිකයන් 33 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද බල ප්‍රදේශ 10 කදී ඡන්දය පැවැත් වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය, හොරොව්පතාන, අනුරාධපුර නැගෙනහිර සහ බටහිර, කලාවැව, මිහින්තලේ සහ කැකිරාව ඡන්ද බල ප්‍රදේශ ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය, මැදිරිගිරිය සහ පොළොන්නරුව බල ප්‍රදේශවල ඡන්දය පැවැත් වේ. සබරගමුව පළාත් සභාව සඳහා සභිකයන් 44 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ, රක්වාන, නිවිතිගල, කලවාන හා කොලොන්න ඡන්ද බල ප්‍රදේශ ක්‍රියාත්මකයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම, ගලිගමුව, කෑගල්ල, රඹුක්කන, මාවනැල්ල, අරනායක, යටියන්තොට, රුවන්වැල්ල සහ දැරණියගල ඡන්ද බල ප්‍රදේශවල හෙට ඡන්දය පැවැත් වේ. ඒ අතර මැතිවරණ නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය අවධාරණය කර සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා‍ය ද සීරුවෙන් තබා ඇති බවයි. හෙට දින ඡන්දය ප්‍රකාශ කිරිමෙන් පසු ඡන්ද මධ්‍යස්ථාන අසල රැඳී නොසිටින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

No comments:

Post a Comment