Friday 21 September 2012

අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම හෙළා දකිමු! - ජවිපෙ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කරඳවුම්කරු අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් පළකර ඇත. එය සම්පූර්ණයෙන් පහත පළවේ. "ඊයේ දින (19) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන සංජීව බණ්ඩාර ශිෂ්‍යයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පොලිස්භාරයට ගනු ලැබ ඇත්තේ, සරසවි ආචාර්ය ගැටලුව ඇතුළු අධ්‍යාපන අර්බුද විසඳන ලෙසට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කරන ලද විරෝධතා උද්ඝෝෂණය සහ සත්‍යග‍්‍රහය අවසන් වී ආපසු යමින් සිටියෙදීය. අධ්‍යාපනයේ අර්බුදය විසඳන ලෙස ආණ්ඩුවට බල කළ අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මෙමගින් පැහැදිලි වනුයේ සමස්ත සරසවි අධ්‍යාපනය අකර්මණ වීමට අදාල කරුණු විසඳීම පසෙකලා ඒවා විසඳන ලෙස බලකරන ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව තුළ වන ඕනෑකමය. මෙය ආණ්ඩුවේ පළමු පියවර නොවේ. පසුගිය 29වැනි දින කොළඹ ශිෂ්‍ය බලමණ්ඩල උද්ඝෝෂණයට පොලීසිය ලවා කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කළේය. අනතුරුව ශිෂ්‍ය උද්ඝෝෂණ තහනම් කරලීම සඳහා සහ මහනුවර සත්‍යග‍්‍රහ අට්ටාලය ඉවත් කිරීමට පොලීසිය ලවා අධිකරණ නියෝග ලබාගැනීමට උත්සාහ කළ ආණ්ඩුව එම ප‍්‍රයත්නයන් අසාර්ථක වූ තැන පොලීසියට පහර දුන් බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිසු නායකයින් අත්අඩංගුවට ගැනීම අරඹා තිබේ. සමස්ත අධ්‍යාපනය පවතින්නේ, අර්බුදයකය. පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය බරපතළ කඩාවැටීමකට ලක්වී තිබේ. 2011 උසස් පෙළ ඉසෙඞ් අගය පිළිබඳ ගැටලුවට විසඳුම් අධිකරණය මගින් ලබා ගැනීමට සිසුන්ට සිදුවූ අතර සරසවි ප‍්‍රවේශයද ප‍්‍රමාද වෙමින් තිබේ. ඒ අතර 2012 උසස් පෙළ විභාගය අවසන් වී මාසයක කාලයක් ගතවෙමින් පැවතියද පිළිතුරුපත් ඇගයීම් තවමත් ඇරඹී නැත. නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් සරසවි ආචාර්යවරුන් විසින් අරඹන ලද වර්ජනයට දැනට මාස 21/2කට වැඩි කාලයක් ගතවී ඇත. මෙම ගැටලු විඳීම සඳහා ආණ්ඩුවේ ප‍්‍රමාණවත් අවධානයක් ඇතැයි රටට නොපෙනේ. ඒ වෙනුවට රටට ප‍්‍රදර්ශනය වනුයේ තමන්ට බලපාන ප‍්‍රශ්න විසඳන ලෙස බලකරන ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති දඩයම් කිරීමේ ආණ්ඩුවේ නිරුවත් උත්සාහය සහ රාජපක්ෂ ආණ්ඩුවේ මුග්ධ ඇමතියන්ගේ විසුළු හැසිරීමය. මෙම තත්වය තුළ පැනනැගී ඇති අධ්‍යාපන අර්බුද විසඳා පාසල් හා උසස් අධ්‍යාපනය යථාවත් කරන ලෙස ආණ්ඩුවට බලකරන අපි ආණ්ඩුවේ අත්තනෝමතික හා මර්දනකාරී පාලනයට එරෙහිව පෙරට එන මෙන් සමස්ත ලාංකේය ප‍්‍රගතිශීලී ජනතාවගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු."

No comments:

Post a Comment