Saturday 6 October 2012

පැය 24 යි ඝාතන 05 යි

ගතවු පැය 24 තුල දිවයිනේ ප්‍රදේශ කීපයකින්, පුද්ගල ඝාතන 05 ක් වාර්තා වේ . එම ඝාතන වාර්තා වන්නේ, දිවුලපිටිය, කරන්දෙණිය, ගිරාදුරුකෝට්ටේ, කඩවත, හා තනමල්විල යන ප්‍රදේශ වලින් ය. දිවුලපිටිය, උඩගම්මාන, ඇත්ගාල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ‍ඝාතනයට ලක් වු පුද්ගලයා ලොරි රථයක යමින් සිටියදී අද පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බව ය. වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ. ඔහු 41 හැවිරිදි කටුවකැලේවත්ත, වල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසී ය. මේ අතර කරන්දෙණිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ 28 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ ඔහුගේ හිසට පහර දී ඝාතනය කර ඇති බව ය. ගිරාදුරුකෝට්ටේ හැඟුම වැව් රක්ෂිත කැලෑ ප්‍රදේශයකදී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භකර ඇති බව ය. වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ බතලයාය ප්‍රදේශයේ පදංචි 28 වියැති අයෙකු වන බව ය. කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී උල් ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබේ. පෞද්ගලික ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම ඝා‍තනය සිදුවී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය. මේ අතර තණමල්විල, සුරියආර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ පෞද්ගලික ආරවුල දුරදිගයාමෙන් එම ඝාතනය සිදුව ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේ 40 හැවිරිදි සුරියආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment