Wednesday 24 October 2012

ලාංකිකයින් 28ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්

බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කෙරුණු ශ්‍රී ලාංකිකයෝ 28 දෙනෙක් අද යළි දිවයිනට පැමිණියහ. ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේ, අද උදෑසන 9.5ට පමණ එම පිරිස රැගත් ගුවන් යානය කටුනායකට ළඟා වූ බවය. පිටුවහල් කළ පිරිස අතර පිරිමි 24 දෙනෙක් සහ කාන්තාවෝ සිවුදෙනෙක් ද වෙති. ඔවුන්ගේ තොරතුරු සටහන් කිරීමෙන් අනතුරුව පිරිස ජාතික බුද්ධි තොරතුරු කාර්යාංශයට භාරදෙන බව ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයින් හැටදෙනෙකු අද දිවයින පැමිණීමට නියමිත බවය. කෙසේ වෙතත් ඉන් පිරිසක් පිටුවහල් කිරීම අවසාන මොහොතේ බ්‍රිතාන්‍ය මහාධිකරණය විසින් අත්හිටුවනු ලැබ ඇති බව ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කළේය. එහි දැක්වෙන්නේ අදාළ පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහොත් විවිධ හිරහැරවලට ලක්විය හැකි බවට ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගෙන බ්‍රිතාන්‍ය අධිකරණය එම තීරණය ගෙන ඇති බවය.

No comments:

Post a Comment