Saturday 6 October 2012

සෞඛ්‍යට ද. දේ. නි. 5%ක්වත් වෙන්කළ යුතුයි - වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අඩුම වශයෙන් 5%ක්වත් වෙන්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පසුගිය දා පැවති සේනක බිබිලේ අනුස්මරන දේශනය පවත්වමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසූවේ "සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් රජය විසින් කළයුතු මැදිහත්වීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සීග්‍රයෙන් අඩුකරමින් තිබෙනවා. එය අධ්‍යාපනයට වගේම සෞඛ්‍යටත් අදාළයි. 2005දී සෞඛ්‍ය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් රජය 1.8%ක් වෙන් කළා. 2011 වනවිට 1.3%දක්වා පහළ බැස තිබෙනවා. ඒ වගේම මේ කළාපය ගත්තත් සෞඛ්‍ය වෙනුවෙන් අඩුවෙන්ම වියදම් කරන රට බවට අපි පත්වෙලා තිබෙනවා. දළ වශයෙන් බංග්ලාදේශය මේ වෙනකොට තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක්, ඉන්දියාව 4%ක්, මාලදිවයින 6%ක් වෙන්කරන තැනකට පත්ව තිබෙනවා. ඒ වගේම අප්‍රිකානු රටක් වන ස්වාසිලන්තයේ සෞඛ්‍ය වෙනුවෙන් 6.3%ක් වෙන්කර තිබෙනවා. මේ අනුව සලකා බලන විට අපේ රටේ රෝහල් පද්ධතියට අවශ්‍යකරන බෙහෙත් නැතිවීම, අඩුමිලට බාල ‍ඖෂධ ගෙන්වීම, අඩුමිලට බාල එන්නත් ගෙන්වීම, ඒවගේ ම රෝහල් ප්‍රතිසංස්කරණය නොකිරීම, අවශ්‍යකරන කාර්යමණ්ඩලය බඳවා නොගැනීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජනතාව මුහුණදෙන ගැටළුවලට හේතු විදිහට ආණ්ඩුව ප්‍රතිපාදන වෙන් නොකිරීම පෙන්වන්න පුළුවන්. එයට හේතුවී තිබෙන්නේ ලෝක බැංකුවේ උවමනාවන් අනුව ආණ්ඩුව ක්‍රමානුකූලව සෞඛ්‍ය සේවාවෙන් ඈත්වී සිටීම. ඒ වෙනුවට පුද්ගලික අංශයට ඉඩකඩ සලසා දෙමින්, ඔවුන්‍ට අවශ්‍යකරන නීතිමය ප්‍රතිපාදන සලසමින්, ඒවගේම පුද්ගලික අංශය වෙත යොමුවීම සඳහා ජනතාව තුළ මනෝභාවයක් ඇති කිරීමේ අතිවිශාල මාධ්‍ය ප්‍රචාරණයක් ගෙනයමින් ආණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ රටේ ජනතාවගේ අයිතියක් වෙච්ච සෞඛ්‍ය සේවාව රැකගැනීම වෙනුවෙන් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක්වත් රජය වෙන් කළ යුතුයි කියන ඉල්ලීම අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම එය‍ මේ රටේ ජනතා‍වගේ අයිතියක්, මොකද රටේ ජනතාව වැඩකරලා, රජයේ සේවයක හෝ පුද්ගලික සේවයක, එහෙමත් නැත්නම් ස්වයංරැකියාවක වෙන්න පුළුවන්. ඔවුන් උපද්දවන ධනයෙන් තමන්ගේ සහ තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා 5%ක් ඉල්ලුම් කරන්නේ. එහෙම නැතුව ආණ්ඩුවේ බූදලේකින් ඉල්ලනවා නෙවෙයි. එය ලබාදීම ආණ්ඩුවේ වගකීමක්. ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වමින් රටේ ජනතාවගේ ජීවිත වෙනුවෙන් සෞඛ්‍ය රැකගැනීමේ අරගලයකට අපි ඉදිරියේදී සෘජුවම මැදිහත් වෙනවා." යනුවෙනි.

No comments:

Post a Comment