Tuesday 16 October 2012

ආණ්ඩුව කළේ රැවුල ගිනිගත්තු වෙලාවේ සුරුට්ටු පත්තුකරපු එක - නාමල් කරුණාරත්න

ඡන්දෙ වෙලාවේ ගොවීන්ට පොරොන්දු රාශියක් දී ගොවීන්ගේ ඡන්දය ලබා ගත් ආණ්ඩුව ගොවීන්ගේ රැවුල ගිනි ගත්ත වෙලාවේ සුරුට්ටු පත්තු කරගත්තා යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (16) පෙරවරුවේ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි නිපොන් හෝටලයේදී පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසූවේ "පසුගිය යල කන්නයේ ගොවීන් වගා කරපු කුඹුරු වගාබිම් විශාල ප‍්‍රමාණයක් ජලය හිඟකමින් හානියට පත්වුණා. අක්කර ලක්ෂ ගණනකට වැඩිය කුඹුරු ඉඩම් ප‍්‍රමාණයක් මේ විදියට හානියට පත්වුණා. ආණ්ඩුව විසින් නිසි පරිදි ජලය කළමනාකරණය නොකරපු නිසා, ජලය තිබෙන ප‍්‍රමාණයට වගා කිරීම සඳහා ගොවීන්ට නිර්දේශ නොකිරීම නිසා ගොවීන් මේ විදියට විශාල අර්බුදයකට මුහුණ පෑවා. මෙම වගාකටයුතු සඳහා ගොවි ජනතාව තමන් සතුව තිබූ කණකර බඩු, වගේම ගේදොර ඉඩකඩම් පවා උගසට තැබුවා. ගොවීන් දිගින් දිගටම කළේ වගා කරන කාලෙට මේ විදියට තමන් සතුව තිබෙන භාණ්ඩ උගස් තබමින් ණය ලබාගනිමින් වගා කරලා අස්වැන්න නෙලන කාලය වනවිට ඒ ගත්තු ණය ගෙවලා අතපිහදාගත්තු එක. ඒක චක‍්‍රයක් වගේ කරගෙන ගියා. මේ විදියට අසරණ භාවයට පත්වෙලා වන්දි ඉල්ලමින් සිටි ගොවීන්ට ආණ්ඩුව කළේ ඡන්දයක් දීපු එක. ඒ මොහොතේ මේ වගා හානිවීම විශේෂ මාතෘකාවක් බවට පත්වුණා. රටේ ජනාධිපතිවරයා කළේ මොකක්ද? හානි වෙච්ච කුඹුරුවලට ගිහින් මැරිච්ච ගොයම අතගාලා ගොවීන්ට කප්පරක් පොරොන්දු දුන්නා. ඡන්දේ දෙන්න කියලා කිව්වා. ගොවි ජනතාව ඡන්දෙත් දුන්නා. මේ මොහොතේ ජනාධිපතිවරයා ඔහුගේ කටින්ම ප‍්‍රකාශ කරපු දෙයක් තමයි 2013 මහ කන්නයේ අස්වැන්න නෙළන තුරු ගොවීන් ගත්තු ණයවල වාරික ඒ වගේම උකස් කරපු භාණ්ඩවල වාරික ගෙවීම අත්හිටුවන්න මහ බැංකුවට නියෝග දෙනවා කියන එක. එම ණය වාරිකවත් පොළියවත්, උකස් බඩුවල වාරිකවත් ගෙවන්න උවමනා නැහැ කියලා ගොවීන් කිව්වා. ආණ්ඩුවේ පත්තරේ ඒ පිළිබඳ ප‍්‍රවෘත්ති පළවුණා. නමුත් මේ වෙනකොට ගොවි ජනතාවට බැංකුවලින් ලියුම් එනවා ඔවුන් ගත්තු ණයවල වාරික ගෙවන්න කියලා. පොළොන්නරුව, හිගුරක්ගොඩ, මාගල්ල ව්‍යාපාරයේ ගොවීන්ට දැනටමත් ලියුම් ඇවිත් තිබෙනවා තමන් ගත්තු ණය ගෙවන්න කියලා. ගරු ජනාධිපතිතුමාගේ නියෝගය බැංකුවලට අදාල වෙලා නැහැ. බැංකුවල නිලධාරීන්ගෙන් මේ ගැන ඇහුව්වාම ඔවුන් කියනවා ජනාධිපතිතුමා කොහේ හරි රැස්වීමක ගිහිල්ලා මේ වගේ දේවල් කිව්වට අපිට මුදල් රෙගුලාසිවලින් පිට වැඩ කරන්න බැහැ කියලා. ඒ නිසා ගත්තු ණය අය කරගන්න එක කරන්නේ මුදල් රෙගුලාසිවලට අනුව කියලා ඔවුන් කියනවා. එහෙනම් මේ බොරුව කරලා තියෙන්නේ කවුද? මේ අතරේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විදියට අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා වගාහානී වුණු කුඹුරු අක්කරයක් වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක් ගෙවන්න කියලා. ආණ්ඩුව මොකද කළේ ගොවීන් රුපියල් 5000 ගානේ වන්දියක් දෙනවා කියලා කිව්වා. නමුත් ඒකත් ලබාදෙන්නේ දවස් 10ක් කුමන හෝ කුලී වැඩක යෙදුනට පස්සේ. සාමාන්‍යයෙන් අපේ ගොවි අම්මා තාත්තා කෙනෙක් කුලී වැඩක් කරනවිට දවසක කුලිය රුපියල් 800-900ත් අතර ගණනක් ලබාගන්නවා. නමුත් ආණ්ඩුව ගෙව්වේ රුපියල් 500ක් විතරයි. මේක ගොවි ජනතාවට කරපු නින්දාවක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් වගා හානී වෙලා කර කියා ගන්න දෙයක් නැතිව, කැඳ ටිකක් බොන්න විදියක් නැතිව හිටපු අපේ ගොවි අම්මා තාත්තට වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. ඒ කුලී වැඩ කළා. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ ඒ රුපියල් 5000ත් ආණ්ඩුව ගෙවන්නේ නැහැ. සමහර ගොවීන්ට ගෙවලා තිබුණා. සමෘද්ධි බැංකු මගින් තමයි මේ ගෙවීම් කරන්නේ. සමෘද්ධි බැංකු මොකද කරන්නේ ඒ රුපියල් 5000ත් සමෘද්ධි බැංකුවෙන් ගත්තු ණය වෙනුවෙන් කපා ගන්නවා. ආණ්ඩුව කළේ කලදුටු කල වල ඉහගන්න එක. ඡන්දේ වෙලාවේ ගොවීන්ට කප්පරක් පොරොන්දු දීලා ඔවුන්ගේ ඡන්දේ ගත්තා. ගොවීන්ගේ රැවුල ගිනි ගත්ත වෙලාවේ ආණ්ඩුව සුරුට්ටු පත්තු කරගත්තා. දැන් මොකද ආණ්ඩුව කරන්නේ ණය අයකරගන්න හදනවා. දුන්නු වන්දියත් ආණ්ඩුව කපනවා. ඉන් පස්සේ කබලේ පිච්චෙමින් සිටි ගොවියා කබල බිඳලා ලිපට දැම්මා. ඡන්දේ ගත්තට පස්සේ ආණ්ඩුව ගොවි ජනතාවට පිටුපාල ඉන්නවා. මේ අවස්ථාවේ ගොවීන්ට ඇති වෙලා තියෙන තත්වය මොකක්ද? දැන් මහ කන්නයේ වැස්ස වැටෙනවා. නමුත් ගොවීන්ට වගාකටයුතු කරගන්න අතේ මුදල් නැහැ. තිබුණු කණකර බඩුටික උකස් තියෙලා. දැන් කරකියා ගන්න දෙයක් නැතිවයි ගොවීන් ඉන්නේ. බරපතල අපහසුතාවකට පත්වෙලා ඉන්න ගොවීන්ගේ රත්තරං බඩු ටික වෙන්දේසියේ දානකොට, ණය ගෙවන්න කියලා ලියුම් එනකොට ඒ දු කදරාගන්නේ කොහොමද? එහෙමනම් අපි පැහැදිලිව කියනවා වක්කඩෙන් අතහෝදලා නාමයෝජනා භාරදුන්නු කෙනෙකුගේ පුතා වන ජනාධිපතිතුමාට, ඒ වගේම කුරහන් සාටකේ කරේ දාගෙන ඉන්න ජනාධිපතිතුමාට, දරුවෝ වඩාගෙන හුරතල් කරන ජනාධිපතිතුමාට අපේ රටේ 70 ලක්ෂයක් පමණ වන පූර්ණකාලීන ගොවීන් දැඩි අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා. ඒ වගේම මේ ආණ්ඩුව අපේ රටේ ගොවිජනතාව විශාල අවමානයකට ලක්කරලා තියෙනවා එනිසා ගොවීන්ට වුණු පොරොන්දු වහාම ඉටුකරන්න කියලා බලකරනවා. ඒ වගේම ගොවීන් ගත්තු ණය වාරික අයකරන එක, පොළී අයකරන එක, ඒ වගේම උකස් තියපු බඩුමුට්ටුවල වාරික අයකරන එක වහාම නතර කරන්න කියලා බල කරනවා. ඒ සඳහා කටින් බලත හිටුවන්නේ නැතිව බැංකුවලට චක‍්‍රලේඛ මගින් නියෝග ලබාදෙන ලෙස අපි බලකරනවා. ඒ වගේම මහ කන්නයේ ගොවිතැන් බතක් කරගන්න නොහැකිව අසරණ තත්වයට ඇද දාලා තියෙන ගොවීන්ට වහාම සහන සලසන්න පියවරගන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා. එසේ නැත්නම් ලංකාව පුරා සිටින ගොවි ජනතාව සම්බන්ධ කරගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය දැවැන්ත උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග රැසක් ආරම්භ කරන්න කටයුතු කරනවා." යනුවෙනි. මෙම මාධ්‍ය හමුවේදී විධායක සභිකයින්වන ටී. බී. සරත් සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුන්ද අදහස් දැක්වීය.

No comments:

Post a Comment