Sunday 19 August 2012

වැල්ලවත්තේ මරණ තවමත් අබිරහසක්

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ නිවසකින් ඊයේ සොයාගත් මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් සිදු කර නොමැත. එකම පවුලේ පියා, මව සහ දියණියගේ මළ සිරුරු ඊයේ සොයා ගැනුණු අතර පවුලේ පිරිමි දරුවා තවමත් හමු වී නොමැත. වැල්ලවත්ත පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසියකදී මෙම නිවසේ පහත මාලයේ තිබී මළ සිරුරු තුන සොයා ගෙන තිබේ. මියගිය පියා මව හා දියණිය හැටන් කොටගල සිට වැල්ලවත්තට පැමිණ ඇත්තේ, පසුගිය 16 වැනිදාය. තම පුත්‍රයා සමග මුන්නේශ්වරම් කෝවිලට යන බව පවසා ඔවුන් නිවසින් පිටත්ව ගිය බව ප්‍රදේශවාසීහු පවසති. මියගිය පියා වතු රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර දින කිහිපයකට පෙර ඉන් විශ්‍රාම ගෙන තිබුණි. පොලීසිය පැවසූවේ, විශ්‍රාම ගැනීමේදී වතුයායෙන් ලැබිය යුතු දීමනා ද ඔහු සන්තකයේ තිබූ බවට වාර්තා වන බවයි. මිය ගොස් ඇති 58 හැවිරිදි කාන්තාව ද එම වතුයායේ කම්කරුවකු ලෙස සේවය කර තිබේ. ප්‍රදේශවාසීන් පැවසූවේ, 23 හැවිරිදි දියණිය එහි ලිපිකාරිනියක ලෙස පුහුණුව ලබමින් සිටින බවයි. දිඹුල පොලීසිය අද ඔවුන් පදිංචිව සිටි හැටන් ප්‍රදේශයේ නිවස පරීක්ෂා කර ඇති අතර එතුළ බඩු බාහිරාදිය ඇද දමා ඇති අයුරු දක්නට ලැබි ඇත. මෙම මරණ තුන සිදු වූ ආකාරය තවමත් අබිරහසක්ව පවතින අතර එම පවුලේ ප්‍රත්‍රයාට සිදුව ඇත්තේ, කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

No comments:

Post a Comment