Friday 24 August 2012

නැව් සමාගමට නඩු

පානදුර ආශ්‍රිත මුහුදු කලාපයේදී මුහුදුබත් වූ නෞකාව අයත් සමාගමට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කර තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් එස්.ආර්. සමරතුංග මහතා සඳහන් කළේ, පෙරේදා මුහුදුබත් වූ අදාළ නෞකාවෙන් ඉන්ධන කාන්දුව මේ වන විට නැවතී ඇති බවයි. මේ පිළිබඳව සියුම් ලෙස නිරීක්ෂණයට ලක්කරන බව ද ඔහු සඳහන් කළේය. ඒ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න මහතා පැවසුවේ, අදාළ නෞකාවෙන් කාන්දු වූ තෙල් මෙරට වෙරළ කලාපයට පැමිණිය හොත් ඊට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනිමට සැලසුම් සකස් කර ඇති බවයි. සයිප්‍රසයට අයත් ‍එම නෞකාව භාණ්ඩ ප්‍රවාහනයේදී ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් රඳවා ගැනීමට 2007 වසරේදී කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබුණි. වෙළෙඳ නැව් අධ්‍යක්ෂ අජිත් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නැව මුහුදුබත්වීමෙන් සිදුවන සමුද්‍ර හානිය වැළැක්වීම සඳහා එහි තිබු දැවි තෙල් ටොන් 207 ක් ඉවත් කර තිබූ බවයි. එහෙත් නෞකාවේ ටැංකිය පතුලෙහි තවත් දැවිතෙල් ටොන් 10-20 ත් අතර ප්‍රමාණයක් ඇති බව සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. පසුගියදා වානිජ මහාධිකරණය විසින් එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යන ලෙසට නියෝග කළත් නෞකාවේ හිමිකරු සහ නීතිඥයින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බලා එය ත්‍රිකුණාමලයට රැගෙන යාම අභියාචනාධිකරණය මගින් අත්හිටවු බව ද වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා පැවසීය.

No comments:

Post a Comment