Monday 20 August 2012

සේවක වැටුප් නොදී, ඩිපෝව වසා දැමීම නීතිවිරෝධීයි - සේපාල ලියනගේ

පසුගිය ජුනි - ජූලි මාසවල මාසික වැටුප් සේවකයින්ට ගෙවීම පැහැරහැරීම නිසා 2012 අගෝස්තු 14 වනදා දහවල් එම ඩිපෝවේ සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට පිවිසුනු බවත් ඊට විරුද්ධව එම සේවකයින් ගනු ලැබූ වෘත්තීය ක‍්‍රියාමාර්ගයට පාලකයින් ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ඩිපෝව වසා දැමීමෙන් බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පැවසයි. ඔහු විසින් මේ පිළිබඳව කම්කරු කොමසාරිස්වරයා වෙත ලිපියකින් පැමිණිලි කොට ඇති අතර එම ලිපියේ සඳහන් පරිදි සේවකයින් මාසික වැටුප් ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ගයට පිවිසී සිටි අතරතුර ශ‍්‍රී ලංගම රජරට ප‍්‍රාදේශීය කලාපයේ ප‍්‍රධාන කළමනාකාර මර්වින් ප‍්‍රනාන්දු මහතා විසින් 2012 අගෝස්තු 15 වන දින රාත‍්‍රියේ ශ‍්‍රී ලංගම ඩිපෝ භූමියට නීතිවිරෝධී ලෙස ඇතුල් වී එම ඩිපෝව සතු බස් රථ ඇතුළු දේපල බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර ඉන් අනතුරුව කැකිරාව ඩිපෝව ඔහු විසින් වසා දමා ඇත. නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංගම කැකිරාව ඩිපෝව වසාදමන ලද මර්වින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ශ‍්‍රී ලංගම බලධාරීන් විසින් 2012 අගෝස්තු 20 වන දිනට පෙර කැකිරාව ඩිපෝවේ සියලුම සේවකයින්ට ශ‍්‍රී ලංගම දඹුල්ල ඩිපෝවේ සේවයට වාර්තා කරන ලෙස 2012.08.16 වන දින ලිඛිතව ඉල්ලා ඇති බවත් මෙම ඉල්ලීම නීති විරෝධී සහ කැකිරාව ඩිපෝ සේවකයන්ගේ මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද සේපාල ලියනගේ මහතා පෙන්වා දෙයි. මාස 02ක නොලැබූනු වැටුප් ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ගයට පිවිසී ඇති සේවකයන්හට වැටුප් ලබාදී සේවක ප‍්‍රශ්නය විසඳනවා වෙනුවට මර්වින් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ ශ‍්‍රී ලංගම බලධාරීන් විසින් සිදුකර ඇත්තේ කැකිරාව ඩිපෝව වසා දමා එම ඩිපෝවේ දේපල බලහත්කාරයෙන් අත්පත් කරගෙන සේවකයන්හට වැටුප් ලබානොදී ඔවුන්හට දඹුල්ල ඩිපෝවට නීති විරෝධී ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම බවද ඔහු පෙන්වා දෙයි.

No comments:

Post a Comment