Friday 31 August 2012

බර්ටි ප්‍රේමලාල් දිසානයකගේ මැරයන්ගේන් පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා දැඩිසත්කාර ඒකකයට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේදී බර්ටි ප්‍රේමලාල් දිසානයක මහතාගේ මැතිවරණ කාරයාලයක් සරසමින් සිටි පිරිසකගේ ප්‍රහාරයට ලක්වීම නිසා තුවාල ලැබ අනුරාධපුර ශීක්ෂණ රෝහලේ 11 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය චමිල හේරත් මහතා ඉතා අසාධ්‍ය තත්වයේ පසුවූ බැවින් එම රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒකකයට යොමුකර ඇතැයි රෝහල් ආරංචිමාර්ග අනාවරණය කරයි. වෛද්‍යවරයා පෞද්ගලිකව කිසිඳු දේශපාලන පක්ෂයක් සමග කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් දේශපාලන බලය පාවිච්චි කරමින් වෛද්‍යවරයාට පහරදී ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි. වෛද්‍ය චමිල හේරත් මහතා රාත්‍රි 12ට පමණ රෝහල වෙත සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී දහයියාගම හන්දියේ පිහිටි සන්ධාන කාර්‍යාලය සරසමින් සිටි පිරිස හේතුවෙන් වෛද්‍යවරයාට සිය මෝටර් රථය ඉදිරියට ගෙන යන්නට බාධා සිදු වී තිබේ. එම අවස්තාවේ දී තමන්ට යාමට අවශ්‍ය බව වෛද්‍යවරයා විසින් පවසද්දි රැඳී සිටි පිරිසක් පැමිණ වාහනයේ දොර හැර වෛද්‍යවරයා පිටතට ගන්නට උත්සහ දරා ඇත. එම අවස්ථාවේ දී වෛද්‍යවරයා විසින් දොර අගුල් දමා තිබේ. එහිදී විවර වී තිබූ වීදුරුවෙන් අත් දමා වෛද්‍යවරයාගේ මුහුණට දැඩි ලෙස පහර දී තිබේ. සමහරු තමන්ගේ අත්වල තිබූ පොලුවලින් රථයේ වින්ඩ්ස්ක්‍රිණයටද පහර දී එය බිඳ දමා ඇති අතර මුළු රථය වටකොට විසි දෙනෙකුට වැඩි පිරිසක් පහර දී ඇත. වෛද්‍යවරයාගේ මුහුණට තදබල ලෙස පහර එල්ල වී ඇති අතර පහර කාගෙනම වෛද්‍යවරයා රථය පදවා ගෙන රෝහලට පැමිණ තිබේ. එම අවස්ථාවේ එහි සිටි වෛද්‍යවරුන් විසින් වෛද්‍ය චමිල හේරත් මහතා රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත. එම වෛද්‍යවරුන් විසින්ම මෙම පහර දීම පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිළි කර තිබේ. මේ වනවිට සංකේත වැඩ වර්ජනයක යෙදෙන වෛද්‍යවරුන් පවසන්නේ පහරදීමට පැමිණි 20ක් 25ක පමණ පිරිස අත්අඩංගුවට ගත යුතු බවයි. එසේ නොවුනහොත් ලබන සඳුදා (සැප්තැම්බර් 03) සිට අකණ්ඩ වැඩ වර්ජනයකට යන බවයි. මෙම පහරදීම මෙහෙයවූ බස්නායක නැමති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්තේයැයි බොරුප්‍රචාරයක් යවමින් වෛද්‍ය වර්ජනය නැවැත්වීමට ආණ්ඩුව උත්සා දරන බවත් වෛද්‍යවරුන් පොලීසියෙන් කළ විමසීමකදී එවැන්නෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද පැවසූ බවත් වෛද්‍යවරු වැඩිදුරටත් පවසති.

No comments:

Post a Comment