Friday 31 August 2012

යුධ හමුදා රක්ෂණය පෞද්ගලික සමාගමකට

යුද හමුදා සාමාජිකයන් සඳහා ජීවිත රක්ෂණ යෝජනා ක‍්‍රමයක් පිළිබඳව යෝජනා කැඳවීමේදී අඩුම මිල යටතේ වැඩිම ප‍්‍රතිලාභ ලබාදීමට එකඟත්වය පළකර ඇති පළපුරුදු රාජ්‍ය රක්ෂණ සමාගම මගහැර දෙදහස් එකොළහ වසරේදී රක්ෂණ කටයුතු ආරම්භ කර ඇති පෞද්ගලික අංශයේ රක්ෂණ සමාගමකට එම රක්ෂණ කටයුතු ලබාදීමට ශ‍්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් රක්ෂණ සේවක සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇති අතර ඒ මගින් අවධාරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඒ සඳහා අඩු රක්ෂණ වාරිකයක් ඉදිරිපත් කර තිබියදී වැඩි රක්ෂණ වාරිකයකට පෞද්ගලික අංශයට ලබාදෙන්නේ කිනම් පදනමකින්ද යන්නය. තවද රක්ෂණ සේවක සංගමය ජනාධිපතිවරයාට යවන ලිපියේ අවධාරණය කරන්නේ රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධ රක්ෂණ ආයතන ගණනාවක් වෙළෙඳපොළේ ක‍්‍රියාත්මකවෙමින් පවතිද්දී පෞද්ගලික ආයතනයක් මගින් රක්ෂණ කටයුතු කරගැනීමට යුද හමුදාවට ඇති වුවමනාව පසුපස ඇති රහස කුමක්ද යන්නයි. රක්ෂණ සේවක සංගමයේ 2012 ජූලි 05 දින දරන ලිපියට පිළිතුරු එවමින් ජූලි 23 දින දරන ලිපියෙන් ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල අවශ්‍ය කටයුතු සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බවයි. මෙසේ යුද හමුදාව සිය සාමාජිකයන්ගේ ජීවිත රක්ෂණය ලබාදීමට යන පෞද්ගලික සමාගම රුපියල් බිලියන හයකටත් අඩු ආයෝජනයක් සහිත සමාගමක් බවත්, එම සමාගම සතුව දිවයින පුරා විහිදි ශාඛා කාර්යාල හෝ කාර්ය මණ්ඩල නොමැති බවත්, එය සතුව ජාත්‍යන්තර පිළිගත් රක්ෂණ වර්ගීකරණයක් නොමැති බවත් වැඩිදුරටත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරියගෙන් කරන ලද විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ යුද හමුදා සෙබළුන්ගේ සුබ සාධනය සඳහා රක්ෂණ ක‍්‍රමයක් ඇති කිරීම සඳහා පත් කරන ලද මණ්ඩලයක යෝජනාවක් අනුව අදාළ යෝජනා කැඳවීම් සිදුකර ඇති බවය. ඒ සඳහා ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි සෑම රක්ෂණ සමාගමකටම දැන්වූ බවය. මේ රක්ෂණ යෝජනා ක‍්‍රමය අඩු මිල ගණන් ඉදිරිපත් කර ඇති රාජ්‍ය සමාගම මගහැර ලබාදෙන්නට යනවාද නැද්ද යන්න පිළිබඳව තමාට පිළිතුරු දිය නොහැකි බවත්, මෙසේ තෝරාගන්නා රක්ෂණ යෝජනා ක‍්‍රමය සඳහා යුද හමුදා සාමාජිකයන්ට කැමති නම් පමණක් දායකවිය හැකි බවත්ය. උපුටා ගැනිම- රාවය

No comments:

Post a Comment