Wednesday 22 August 2012

උද්ඝෝෂණ රැලිය කඩාකප්පල් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත‍්‍රණය පැරදවමු - SSU

විශ්වවිද්‍යාල වසාදමා ඒකාබද්ධ උද්ඝෝෂණ රැලිය කඩාකප්පල් කිරීමේ ආණ්ඩුවේ කුමන්ත‍්‍රණය පැරදවීමට පෙරට එන ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි. එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එම නිවේදනය පහත පළවේ. ‘‘අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කිසිදු ගැටලූවකට විසඳුම් ලබාදීමට අසමත් ආණ්ඩුව දියහැකි එකම පිළිතුර ලෙස සම්පූර්ණ විශ්වවිද්‍යාල පද්ධතිය වසාදමා තිබේ. අධ්‍යාපනය වෙනුවෙන් දළදේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඇරඹි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයට දින 50 ක් ගතවී ඇත. දින 23 ක අඛණ්ඩ වැඩවර්ජනයකින් පසු යළි සේවයට පැමිණි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ට දුන් පොරොන්දු ආණ්ඩුව ඉටු නොකළ නිසා යළි වැඩවර්ජනයකට යාමට නියමිතය. විවිධ ආයතනික ප‍්‍රශ්න සහ ශිෂ්‍ය මර්දනය නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ව උද්ඝෝෂණවලට එළඹ ඇත. මේ සියලූ ප‍්‍රශ්නවලට ආණ්ඩුව මෙතෙක් ලබාදී ඇති විසදුම වන්නේ බොරු සාකච්ඡා, රැවටිලි, නිග‍්‍රහ කිරීම්, අවලාද, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම්, මරණීය තර්ජන සහ සුදුවෑන්වලින් පැහැරගැනීම් පමණි. මතුව ඇති ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට ආණ්ඩුවට බලකෙරෙන දැවැන්ත උද්ඝෝෂණ රැලියක් හෙට (23) සවස 3.00 ට කොළඹ හයිඞ් පිටියේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් ගුරු-විදුහල්පති සංගම්ද, දෙමාපිය සංගම්ද, විද්වත් වෘත්තික සංගම්ද සම්බන්ධවීමට නියමිතය. ඊට අමතරව ජල, විදුලි, දුම්රිය, සෞඛ්‍ය, වරාය, ලංගම, ටෙලිකොම් ඇතුළු ප‍්‍රබල වෘත්තීය සමිති මේ වනවිටත් මෙම උද්ඝෝෂණ රැලියට සහය පළකර ඇත. ඒකාබද්ධ වන ජනතා විරෝධය හමුවේ බිය වූ ආණ්ඩුව රැලිය කඩාකප්පල් කිරීමට සියලූ කි‍්‍රයාමාර්ග ගෙන ඇත. හදිසියේ විශ්වවිද්‍යාල වසාදමන්නේද එහි එක් පියවරක් වශයෙනි. ආණ්ඩුවේ මෙම මර්දනීය ක‍්‍රියාමාර්ග හමුවේ පසුනොබා එම උද්ඝෝෂණ රැලියට සහභාගී වන ලෙස සියලූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙන්, ඉසෙඩ් අවුලෙන් අසාධාරණයට ලක්වූ සිසුන්ගෙනුත් අපි ඉල්ලා සිටිමු. විශ්වවිද්‍යාල වසාදැමීම වැනි මර්දනීය ක‍්‍රියාමාර්ග නතර කර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලූවලට නිසි විසඳුම් ලබාදී විශ්වවිද්‍යාල වහා විවෘත කරන ලෙසත් අපි ආණ්ඩුවට බලකර සිටිමු‘‘.

No comments:

Post a Comment