Tuesday 23 October 2012

අද පාර්ලිමේන්තුව

ළිං සදහා රුපියල් 7500 ක බද්දක් අය කිරිමට තීරණය කර තිබේද යන්න පිළිබදව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය. ළිං සදහා එවැනි බද්දක් අය කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ජලසම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඔහු පැවසුවේ වාරිමාර්ග අමාත්‍යවරයාද එවැනි තිරණයක් ගෙන නොමැති බව ය. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවේ සැමට නිවසක් හිතට නිවනක් වැඩපිළිවෙල යටතේ විශ්ව විද්‍යාල ප්‍රජාවේ නිවාස අවශ්‍යතා සදහා වෙන්කළ ප්‍රතිපාදන නිසි‍ලෙස ප්‍රයෝජනයට ගෙන නැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ඉතිරි වී තිබෙන ප්‍රතිපාදන යොදා ගනිමින් තවදුරටත් කටයුතු කරන බව ය. සෞදි අරාබියේ රියාද් නගරයෙහි සේවය කරමින් සිටියදී මියගිය මිනෝලි නැමැත්තියට වන්දි මුදල් ලබා‍දෙන්නේද යන්න රංජන් රාමනායක මහතාගේ ප්‍රශ්නය විණ. විෂයභාර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ඇය නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ ගත වී ඇති බව ය. එහෙත් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ ලැබුණු ඉල්ලීම් මත ඇය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට පියවර ගත් බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුකර ඇති නිවාස ඉදිකිරීම් පිළිබදව රවි කරුණානායක මහතා අමාත්‍ය විමල් විරවංශ මහතාගෙන් විමසුවේ ය. මේ අතර වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නි‍යෝග අද විවාදයට ගැනුණි. වනජීවි නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ සංචාරකයින්ගේ ඇතැම් ක්‍රියා නිසා තල්මසුන් හා ඩොල්ෆින් වැනි ක්ෂීරපායි සතුන්ගේ පැවැත්මට බලපෑම් එල්ල වී ඇති බව ය. අද වනජීවි දෙපාර්තමේන්තුව ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය. යාල ජාතික වනෝද්‍යානයේ පමණක් නොව උඩවලව, විල්පත්තු වනෝද්‍යාන තුළද අනවසර ඉදිකිරිම් පවතින බව මන්ත්‍රිවරයා පැවසීය.

No comments:

Post a Comment