Saturday 6 October 2012

දේශපාලන රැකවරණයට ඕස්ට්‍රේලියාවේ ඉඩ

ඕස්ට්‍රේලියානු මහජන ආරක්ෂණ සහ බුද්ධි ආයතනයේ නිර්දේශ මත පදනම්ව විදේශිකයන්ට එරට දේශපාලන රැකවරණ සඳහා අයදුම් කිරීම තහනම් කළ නොහැකි බව ඕස්ට්‍රේලියාවේ අධිකරණයක් තීන්දු කර තිබේ. බී.බී.සී. පුවත් සේවය පැවසුවේ, ඕස්ට්‍රේලියානු ආගමන සහ විගමන අමාත්‍යවරයාගේ නියෝගයක් එරට මහාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ අවස්ථාවේදී එම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි. රටේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ඕස්ට්‍රේලියානු මහජන ආරක්ෂණ සහ බුද්ධි ආයතනය නිර්දේශ කරන විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සඳහා ඉල්ලුම් කිරීම තහනම් කිරීමට එරට අමාත්‍ය මට්ටමේ තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව, එම තහංචිය බල පෑ ශ්‍රී ලංකිකයකු අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබුණේ, තමන් ආපසු ශ්‍රී ලංකාවට පිටමන් කළ හොත් එහිදී වධ හිංසාවලට ලක් විය හැකි බව පවසමිනි. එහිදී ඕස්ට්‍රේලියානු මහාධිකරණය තීරණය කර ඇත්තේ, පෙත්සම්කරුට දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීම තහනම් කිරීම නීතියට පටහැනි බවයි.‍ ඒ අනුව 2009 වසරේ දෙසැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ කඳවුරක රඳවා සිටින එම ලාංකිකයාට එරට දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීමට ඉඩ ලැබී තිබේ. ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසයේ ප්‍රකාශක බාලවිග්නේශ්වරන් බී.බී.සි. යට පවසා ඇත්තේ, එම තීන්දුවට අනුව ඕස්ට්‍රේලියාවේ රඳවාගෙන සිටින ශ්‍රී ලංකිකයින් පනහකට ආසන්න පිරිසකට එරට දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කිරීමට ඉඩ ලැබිය හැකි බවයි. කෙසේ වෙතත් එම තීන්දුවට අනුව දේශපාලන රැකවරණ සඳහා අයැදුම් කළ හැක්කේ පෙත්සම්කාර ශ්‍රී ලංකිකයාට පමණක් බව ඕස්ට්‍රේලියානු නීතිපතිවරයා සඳහන් කර තිබේ. බී.බී.සි. පුවත් සේවය පවසන්නේ, ඕස්ට්‍රේලියානු මහජන ආරක්ෂණ සහ බුද්ධි ආයතනයේ උපදෙස් පරිදි ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සඳහා අයදුම් කිරීම තහනම් කර ඇති සියලු දෙනාට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබී තිබේද යන්න තවමත් පැහැදිලි නැති බවයි.

No comments:

Post a Comment