Friday 5 October 2012

මෙවර චේ සහෝදරයා සැමරීමට සති දෙකක්SYU

සමාජවාදී තරුණ සංගමය විසින් හැම වර්ෂයකම පාහේ සිදුකරනු ලබන චේ ගුවේරා සැමරුම මේවර සති දෙකක් පුරා වැඩසටහන් ගණනාවකින් සමන්විතව සිදුකිරීමට තම සංගමය තීරණය කර ඇති බව එම සංගමයේ ජතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාරයාලයේදී අද (05) පෙරවරුවේ පැවති සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි. එහිදී බිමල් රත්නායක මහතා දැක්වූ අදහස් පහත පලවේ. "වර්තමානයේ අපේ රටත් ලෝකයේ බහුතරයක් රටවලුත් ගත්තොත් දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් අධිරාජ්‍යවාදී බලපෑම්වලින් බැටකමින් ඉන්නවා. 2001 සැප්තැම්බර්යේ ඇමරිකාවට තලේබාන් සංවිධානය විසින් කරන ලද ප‍්‍රහාරයෙන් ඇමරිකානුවන් 3000කට ආසන්න ප‍්‍රමාණයක් මිය ගියා. එම ඇමරිකානුවන් 3000 වෙනුවෙන් 2001 සිට මේ දක්වා දශකය ගත්තොත් ලක්ෂ 30කට ආසන්න මිනිසුන් ප‍්‍රමාණයක් අධිරාජ්‍යවාදය විසින් ඝාතනය කරමින් සිටිනවා. ඇෆ්ගනිස්ථාන, ඉරාකය, සිරියාව, ලිබියාව ආදි රටවල්වල අධිරාජ්‍යවාදය විසින් බරපතල විනාශයක් සිදුකරමින් සිටිනවා. රටවල් බෙදනවා. සුඩානය, සර්බියාව ආදී රටවල් බෙදා වෙන්කර දැමීමට මැදිහත් වුණා. වර්තමානයේ ලංකාවත් සෘජුව අධිරාජ්‍යවාදී බලපෑම්වලට ලක්වී තිබෙන රටක්. ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදය හැරුනාම රටේ ආර්ථිකයත්, ආරක්ෂාවත් ඇමරිකානු පුරවැසියන් දෙදෙනකු විසින් පාලනය කරන එකම රට ශ‍්‍රී ලංකාවයි. ආරක්ෂාව සහ ආර්ථිකය යනු රටක වැදගත්ම ක්‍ෂේත‍්‍ර දෙකයි. ඔබ දන්නවා අපේ රටේ ජනාධිපතිවරයාගේ සහෝදරයින් දෙදෙනා තමයි එම ක්‍ෂේත‍්‍ර දෙක පාලනය කරන්නේ. අධිරාජ්‍යවාදයේ මෙම ආර්ථික, දේශපාලන ප‍්‍රතිපත්තිවල බලපෑම් නිසා ලොව පුරා රටවල්වල වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ තරුණ තරුණියන්. දැන් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ ආචාර්යවරු සටනක් දියත් කරලා තියෙනවා අධ්‍යාපනයට 6%ක් වෙන්කරන්න කියලා. මොකද ආණ්ඩුවට අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප‍්‍රතිශතය අඩුවෙලා තියෙන නිසා. අධ්‍යාපන කප්පාදුව නිසා එයිනුත් බැටකන්නේ අපේ රටේ තරුණ තරුණියන්. එම අධ්‍යාපන කප්පාදුවත් සිදුවන්නේ අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්තිවලින් සිදුවන බලපෑම් හේතුවෙන්. එමෙන්ම රටේ පවතින විරැුකියාවවට හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ ආණ්ඩුව ගෙන යන වැරදි, අධිරාජ්‍ය ගැති ධනේශ්වර ආර්ථික ප‍්‍රතිපත්තියි. අනෙක් පැත්තෙන් ගත්තාම ශී‍්‍ර ලංකාව, ලෝකයේ තරුණ සියදිවි නසාගැනීම් වැඩියෙන්ම සිදුවන රටවල් 5න් එකක් බවට වාර්තාගත වෙලා තිබෙනවා. හැම තත්පර 40කට වරක්ම ලෝකයේ කවුරු හෝ සියදිවි නසාගන්නා බවට වර්තාගත වෙලා තියෙනවා. එම තත්වයට බලපාන වටපිටාවක් තියෙන රටක් බවට අපේ රට පත්ව තිබෙනවා. ඒනිසා මෙම අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති නිසා අධ්‍යාපනය අහිමිවෙලා, රැකියා අහිමි වෙලා, තමන්ගේ ජීවිත අහිමි වෙලා තිබෙන්නේ තරුණ තරුණියන්ටයි. ඒනිසා අපේ රටේ තරුණ තරුණියන්ට විශාල වගකීමක් තිබෙනවා මෙම තත්වයන්ට එරෙහිව අරගල කරන්න ඉදිරියට එන්න. ඒ වෙනුවෙන් තමයි අප මෙවරත් චේ සැමරුම යොදාගැනීමට බලාපොරොත්තු වන්නේ. අප විසින් හැම වර්ෂයකම පාහේ සිදුකරනු ලබන චේ ගුවේරා සැමරුම මේ වර්ෂයේදීත් සිදුකිරීමට තීරණය කරලා තිබෙනවා. සමාජවාදී තරුණ සංගමය ආරම්භකරන ලද මුල් අවධියේ සිටම චේ ගුවේරා සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් මේ රටේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ එම දේශපාලන භාවිතාව තරුණියන්ට හුරු කරවීමේ වැඩසටහන් මාලාවක් දියත් කළා. එහි විශේෂ අදියරක් ලෙස මෙවර චේ සැමරුම දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා මෙම මාසයේ 08 වෙනිදින සිට 22ක දක්වා සති දෙකක කාලයක් තුළ වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වසර වන විට අඛණ්ඩව වසර 5ක් චේ සැමරුම අප විසින් සිදුකරලා තිබෙනවා. චේ ගුවේරා ඝාතනය කරලා මෙම වර්ෂය වන විට වසර 45ක් සම්පූර්ණ වෙනවා. එනිසා මෙවර චේ සැමරුම ජාත්‍යන්තර වශයෙන් ලෝකය පුරා වැදගත් දිනයක් ලෙස පවත්වනු ලබනවා. අනෙක් කරුණ තමයි අප ජීවත් වන වර්තමානය ගත්තාම විශාල ලෙස අපේ රටවල් අධිරාජ්‍යවාදී බලපෑමට ලක්වෙලා තිබෙන අතර එම අධිරාජ්‍යවාදයට, ධනවාදයට එරෙහිව අරගලයක් තරුණ තරුණියන් විසින් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මතුවෙලා තිබෙනවා. එමෙන්ම සමාජවාදී කියුබාවට එරෙහිව බලවත් රටවල් විසින් එල්ල කරන බලපෑමට විරෝධය පලකිරීමේ දිනයක් විදියටත් මෙවර චේ දිනය යොදාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. රට පුරා හැම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ජාතික සැමරුම් උත්සවය ලබන 22දා විහාර මහාදේවී එළිිමහන් රංගපීඨයේදී විදේස් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. දකුණු කලාපය තුළ සිදුකරන පුළුල්තම වැඩසටහන බවට පත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අධිරාජ්‍යවිරෝධී සටන්කරුවා චේ යන මැයෙන් කෘතියක් එළිදැක්වීමට බලාපොරාත්තු වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා තරුණ තරුණියන් සම්බන්ධ කරගෙන චේ සමාජ ගොඩ නැගීමට. ඔබ දන්නවා චේ ගුවේරා පසුගිය 20වන ශත වර්ෂයේ ලෝකයට බලපෑම් කළ පුද්ගලයින් 100 දෙනා අතරට පැමිණි පුද්ගලයෙක්. ප‍්‍රසිද්ධ ටයිම්ස් සඟරාව කළ සමීක්ෂණයකින් මේ බව හෙළිදරව් වුණා. ධනේශ්වර නායකයින් මෙන්ම සමාජවාදී නායකයින් අතරේ චේ ගුවේරා සහෝදරයාද එක් පුද්ගලයෙකු වශයෙන් ඉදිරියට පැමිණියා. ඔහු ආජන්ටිනාවේ උපත ලද පුද්ගලයෙක්. එමෙන්ම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍යවරයෙක් ලෙස ඉතාම දුෂ්කර කොලනිවල සේවයේ යෙදුනා. 1950-55 අතර කාලය තුළදී. ඔහු කියුබානු විප්ලවයට සම්බන්ධ වුණේ 1955දී. ඉන් අනතුරුව විප්ලවය ජයග‍්‍රහණය කළා. කියුබානු රජයේ ඇමතිවරයෙක්, මහ බැංකු අධිපතිවරයෙක්, රාජතාන්ත‍්‍රිකයෙක් ලෙස වැඩකටයුතු කළා. එමෙන්ම වඩා වැදගත් ලක්ෂණය වන්නේ ලෝකයේ ඕනෑම තැනක සිදුවන නිදහස් අරගලයක් වෙනුවෙන් නායකත්වය දෙන්න ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න පෙළඹුමක්, ජීවන භාවිතාවක් ඔහුට තිබුණ එක. මේ අතර 1967දී ඔහු මිය ගියා. ඉතාම කෙටි කාලයක් තුළදී දේශපාලන ජීවන භාවිතාවක් තුළ තමයි මේ ලෝකයට බලපෑම් කළ සිය දෙනා අතරට පැමිණියේ. ඒ විතරක් නෙවෙයි එම සිය දෙනා අතරින් ලෝකයට වැඩිම බලපෑමක් සිදුකරමින් ලෝකයේ ඉදිරියට එන පුද්ගලයා ලෙසද චේ ගුවේරා සටහන් වුණා. ඒ වගේම ජාත්‍යන්තරවාදියෙක් ලෙස ඔහුගේ ජීවන භාවිතාව අගය කිරීමට පුළුවන්කම තිබෙනවා. එනිසා චේ ගුවේරා විලාසිතාවක් කර ගන්නවා වෙනුවට ඔහුගේ ජීවන භාවිතාව අප දේශපාලන භාවිතාවක් ලෙස යොදාගැනීමට අපේ රටේ තරුණ තරුණියන්ට හුරු කරවීම අපේ ප‍්‍රධාන අරමුණ වෙනවා. එනිසා මේ රටේ සියලූම තරුණ තරුණියන්ගෙන් අප ඉල්ලා සිටිනවා චේ නම් වූ අමරණීය ජාත්‍යන්තරවාදියා, විප්ලවවාදියා විලාසිතාවක් ලෙස යොදා ගන්නවා වෙනුවට මේ රටේ දේශපාලන භාවිතාව වෙනුවෙන්, නරක දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීඹ සඳහා යොදාගන්නා ලෙස." මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන එරංග ගුණසේකර මහතා සහ ගයාන් ජානක මහතාද සහභාගීවී සිටියහ.

No comments:

Post a Comment