Wednesday, 29 August 2012

රාමඤ්ඤ නිකායේ මහ නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහනායක ස්වාමින්වහන්සේ ඊයේ පස්වරුවේ අපවත් වූහ. අපවත් වනවිට මහ නාහිමියෝ 103 වැනි වියේ පසු වූහ. 1909 දෙසැම්බර් මස 7 වැනිදා වේවැල්දෙණිය මිල්ලවලදී උපන් නායක ස්වාමීන්වහන්සේ මුලික අධ්‍යාපන ලැබුවේ තෝලංගමුව ප්‍රාථමික විද්‍යාලයෙනි. 1922 මැයි මස 26 වැනිදා පැවිදි වු උන්වහන්සේ 1950 සිට රාමඤ්ඤ මහා නිකායේ උසස් තනතුරු රැසක් හෙබ වු සංඝ පීතෘවරයෙකි. මේධාලංකාර නාහිමියෝ 1998 දී ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයෙන් පිදුම් ලැබූහ. ශාසනික, සමාජයීය සහ සංස්කෘතිකමය වශයෙන් මා හැගි මෙහෙවරක නිරතවෙමින් පාලකයින්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළ උන්වහන්සේ මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ වැඩවසමින් තම ශාසනික සේවාව රට පුරා ක්‍රියාත්මක කළහ. ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය මේධාලංකාර මහානාහිමියන්ට සාහිත්‍ය චක්‍රවර්තී යන ගෞරව නාමය පිරිනැමුවේ උන්වහන්සේගෙන් සාහිත්‍යයට සිදුවු සේවය අගයමිනි. කැලණිය විද්‍යාලංකාර පිරිවෙන උන්වහන්සේට ධර්ම ශාස්ත්‍ර ශිරෝමනී ගෞරව නාමය පිරිනැමු අතර රාමඤ්ඤ මහා නිකාය ශාසන සෝභන ශ්‍රි සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකර උපසේන වංශාවතංස යන නාමය පුද කළේය. අමරපුර මූලවංශික නිකාය වේවැල්දෙණියේ මේධාලංකාර මහනාහිමියන් අගය කරනු ලැබුවේ, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය යන ගෞරව උපාධිය පුදකරමිනි. බුදු සසුන එළිය කරමින් බුදුහිමි දෙසු මග ලෝවැසියනට පහදා දෙමින් විශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාවක නිරත වු මේධාලංකාර මහනාහිමියන්ගේ නාමය, ශ්‍රි ලංකාවේ බොදු ජනතාවට කිසිදා අමතක නොවන්නක් බව නො අනුමානයි.

No comments:

Post a Comment