Sunday 26 August 2012

ලංකාවෙන් ස්විස් බැංකුවල වැඩියෙන්ම සල්ලි දාලා තියන්නේ සුනාමි ව්‍යසනය සිදුවූ වසරේ: ඒ කව්ද? -ලාල්කාන්ත අසයි-

ස්විස් බැංකුවල තැන්පත් කර ඇති මිලියන ගණන් ශ්‍රී ලංකා මුදල්වල අයිතිකරුවන් කවුදැයි රටට හෙළි කළ යුතු බව අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා ආණ්ඩුවට අභියෝග කර සිටියේය. ඔහු මෙම අභියෝගය කළේ ඊයේ (25) දින කොළඹ මහජන පුස්ථකාලයේ පැවැති අධිරාජ්‍ය වි‍රෝධී ජනතා ව්‍යාපාරයේ ආර්ථික ඝාතකයින්ට තවදුරටත් ඉඩ දෙමුද යන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමිනි. 2002 වර්ෂය වන විට ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 22.9ක්ද 2003දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 34.7ක්ද 2004දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 105.5ක්ද සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් 2005දී වැඩිම මුදල වන ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 177.6ක්ද 2006දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 55.5ක්ද 2007දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 123.5ක්ද 2008දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 104.8ක්ද 2009දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 88.7ක්ද 2010දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 111.3ක්ද 2011දී ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 85ක්ද ශ්‍රී ලංකා මුදල් ස්විස් බැංකුවල තැන්පත් කර ඇති බවද ලාල්කාන්ත මහතා සඳහන් කළේය. පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩුදුන් හෙජින් ගණුදෙනුව, බාල ඉන්ධන ගෙන්වීම සහ ග්‍රීසියේ මුදල් ආයෝජනයෙන් කෝටි ගණන් අපේ රටේ ජනතාවගේ මුදල් රටට අහිමි වූ බව සඳහන් කළ ලාල්කාන්ත මහතා එම ගණුදෙනුවලින් වාසි ලැබුවේද ඒ කවුරුන්ද යන්නත් එම වාසි ස්විස් බැංකුවල තැන්පත් වූයේද යන්නත් සැක මතුවන බවද කියා සිටියේය. අජිත් නිවාඩ් කබරාල් මහතා මෙම ස්විස් බැංකු මුදල් සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මුදල් පිළිබඳව කිසිදු සැකයක් මතුවී නැති බවත් කිසිවකු ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර නැති බවත් ප්‍රකාශ කළ බව කී ලාල්කාන්ත මහතා පසුගිය කාලයේ සිදුවූ ආර්ථික ගිවිසුම් පිළිබඳ සලකා බැලීමේ දී එම ස්විස් ගිණුම්වල තැන්පත් කළ මුදල් පිළිබඳ සැකයක් මතුවන බවද කියා සිටියේය. එබැවින් එම මුදල්වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් රටට හෙළි කළ යුතු යැයිද කියා සිටියේය. වර්තමානයේදී ජාවාරම්කාර කල්ලි මෙන්ම ඊට ස‍හාය ලබාදෙන රාජපක්ෂ කල්ලිය විසින් රටේ ආර්ථිකය විනාශ කොට ඇති බවත් එම කල්ලිය පාරාජය කොට රටේ ආර්ථිකය රැකගැනීමට ජනතාව පෙරට ආ යුතු බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. මෙම සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි කියා සිටි‍යේ ආණ්ඩුව ආර්ථික ඝාතකයින්ගේ පදයට නටමින් රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කප්පාදු කරමින් සිටින බවය. එමෙන්ම අධිරාජ්‍යවාදීන්ගේ කොන්දේසි අපේ රටේ දුර්වල පාලකයින් විසින් ගෙඩි පිටින් ගිලදමන අතරම ඔවුන්ට රටට ඇතුල්වීමට දේශසීමා විවෘත කොට තිබෙන බවත් සඳහන් කළේය. අධිරාජ්‍යවාදයට රටට ඇතුල්වීමට විල්ලුද පලස් සකස් කර දෙන පාලකයින් නිරුවත් කරන්නට අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය උපාය උපක්‍රම ගැනීමට සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනක් කුමාරසිරි මහතාද මෙහිදී අදහස් දැක්වීය. ජාකික විධායක කමිටු සාමාජිකයින් වන ආචාරිනී පෝෂියාහසන්, නීතිඥ සුමනා බෙනරගම, වෛද්‍ය නන්ද විජේරත්න මහත්ම මහත්මීන් සහභාගී වූ අතර විශාල පිරිසක් රැස්ව සිටියහ.

No comments:

Post a Comment