Thursday, 4 April 2013

ලාංකේය දේශපාලන ඉතිහාසය අලුතින් නිර්මාණය කළ 71 අරගලයපරිත්‍යාගය, කැපවීම හා පාරිශුද්ධ හෘද සාක්‍ෂිය විසින් මෙහෙයවනු ලැබූ, අප්‍රතිහත ධෛර්යය වැනි දුර්ලභ හා උත්තුංග ගුණාංග ලාංකේය දේශපාලනයට හඳුන්වා දුන් 71 අරගලයේදී දිවිපිදූ තම සගයන්ව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් 42 වැනි වරටත්, මෙවර සමරන්නේ ඔවුන් විශ්ව සමාජයට දුන් ආදර්ශයන් ඉතා ඉහළ ඇගැයීමකට ලක්‌වන මොහොතකය. රටේ නායකයන්, රට තම පෞද්ගලික දේපළක්‌ සේ සලකා උදර පෝෂණය සඳහා ගෙන යන පාලනය දේශප්‍රේමී පිරුවටයෙන් වසා වැදිබණ දේශනා කරන වත්මන් පරිසරය තුළ ලොවේ අතිඋතුම් ම සමාජ සේවය දේශපාලනය යෑයි යන විද්වත් කියමන 71 අප්‍රේල් අරගලය විසින් සනාථ කළේ අරගලයට දායක වූ තරුණ කැළ දශමයකින් හෝ පෞද්ගලික අරමුණුවලින් තම අරගලය කිලිටි නොකිරීමට ප්‍රවේශම් වීමට වගබලා ගත් බැවිනි. මෙම තරුණ නැගිටීම විමර්ශනය කළ මහ නඩුවේ එක්‌ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ඒ. සී. අලස්‌ විසින් රචිත 71 කැරැල්ල නම් වූ පොතෙහි 205 වැනි පිටුවෙන් උපුටා පහත සඳහන් කර ඇති ඡේදයෙන් මෙම තරුණ කැළ ගැන තබා ඇති සටහන ඔවුන්ගේ අරගලයෙහි අව්‍යාජත්වයට තවත් එක්‌ නිදසුනකි. "රටේ තරුණ පිරිසගෙන් වැඩි කොටසක්‌ සමන්විතව සංවිධානය වූ දේශපාලන පක්‍ෂයක්‌, විප්ලවීය ප්‍රචණ්‌ඩ බලයෙන් සමාජ පද්ධතිය වෙනස්‌ කිරීමට වෙහෙසුණු ප්‍රථම අවස්‌ථාව මෙය විය. සංවිධානය වූ තරුණ පෙළ එවැනි ප්‍රයත්නයක්‌ දැරූ වෙනත් රටක්‌ නොවෙතියි මට සිතේ. එබැවින් මේ සියවසේ මේ රටේ ඇති වූ ඉතාමත් ම භාරධූර සිද්ධිය මේ තරුණ කැරැල්ලයි. එය 1917 රුසියාවේ ඇති වූ ඔක්‌තෝබර් විප්ලවය තරමටම භාරදූර වූවකි. 1971 ඇත්තෙන්ම දරණු සිද්ධියක්‌ වන්නේ ඊට සහභාගි වූවන් මේ රටේ තරුණයන් වූ හෙයිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්‌ අවංක බලාපොරොත්තු හා පැතුම් අබියස දේශපාලන මතවාදයක්‌ වෙනුවෙන් දිවි පිදූහ. එසේ වුවද 71 අරගලයට සම්බන්ධ වී පසුව සදාචාරාත්මකව වැහැරුණු, මර්දනය හා පීඩනය දරාගත නොහැකිව අරගලයෙන් පලාගිය හා සිය කැමැත්තෙන් ධනපති පක්‍ෂවල කසළ ශෝධකයන් බවට පත් වූ ඇතැමෙක්‌, සමහර පුවත්පත්වලට ලිපි හා සාකච්ඡා ලබා දෙමින් යහපත් සමාජයක්‌ උදෙසා 71 අරගලයේ දිවිපිදූ තරුණ කැළගේ සියලු වටිනාකම් තමන්ගේ නමට ලියා ගැනීමට උත්සාහ ගනිති. තවත් සමහරු තමන්ගේ වැහැරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරති. එයින්ද නොනැවතුණ තවත් සමහරු 71 අරගලය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථගන්වා මාක්‌ස්‌ - ලෙනින් අතික්‍රමණය කළ මහා ප්‍රාඥයන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති. මේ සියලු දෙනාම නිවැරැදි අරගලයකට දෘෂ්ටිමය මඟ පෙන්වීමක්‌ කරන බව හැඟවෙන රංගනයක යෙදුණද ඔවුන් පෙන්වන අරගල මාවතේ ඔවුන්වත් ගමන් ගන්නා බවක්‌ දෘෂ්‍යමාන නොවේ. තමන් විසින් අගතියෙන් තොරව කරන විවේචන පවා සතුරු විවේචන ලෙසින් පිළිගන්නවා යෑයි 71 අරගලය මෙහෙයවූ ජ.වි.පෙට චෝදනා කරන මෙම පිරිස අද සිදුකරන්නේ, ජ.වි.පෙ. හා 71 අරගලය විසින් ඔසවා තැබූ ඔවුන්ගේ නාමය තම උදර පෝෂණය හා ධනේශ්වරයේ පෝෂණය සඳහා පාවිච්චි කිරීම බවට ජ.වි.පෙ. කරන චෝදනාව බැහැර කළ නොහැක්‌කේ නිවැරදි විප්ලවයකට මෙම ඊනියා මඟ පෙන්වන්නන් වැඩි දෙනෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන හා එක්‌ව රටට ෙද්‍රdaහිකම් කරනවා විනා කරන විප්ලවයක්‌ රට තුළ දක්‌නට නොමැති බැවිනි. 1971 අප්‍රේල් අරගලය ගැන කතා කරන විට ඊට නායකත්වය දුන් ජනතා විමුක්‌ති පෙරමුණ හා එහි බිහිවීම මඟහැර යා නොහැකිය. අධිරාජ්‍යවාදීන් විසින් තමන් යටතට පත්කර ගෙන තිබුණ රටවල නිදහස සඳහා උද්ඝෝෂණ මතුවන විට එම රටවල වැසියන් අරගලයකින් නිදහස දිනාගතහොත් එයින් තමන්ට විය හැකි අනර්ථය තේරුම් ගත් ඔවුන් තමන් විසින් ගෙන ගිය ධනේශ්වර පාලන ක්‍රමය දේශීය ධනේශ්වර පංතියට භාර දී එය නිදහස ලබා දීමක්‌ ලෙස අර්ථ ගන්වා රටෙන් පිටව ගියහ. එවැනි නිදහසක්‌ හිමි වී අප රටේ පාලනය භාරගත් අධිරාජ්‍ය ගැති දේශීය ධනේශ්වර පංතියද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන ගිය ධනේශ්වර පාලන ක්‍රමයම ඉදිරියට පවත්වා ගෙන ගියා විනා ජනතාවාදී පාලනයක්‌ ගෙන යැමට උත්සාහ කළේවත් නැත. අවම වශයෙන් ධනේශ්වර ක්‍රමය තුළ ලැබෙන අවම ප්‍රතිලාභවත් රටවැසියන්ට ලබාදීමට හෝ ලාංකේය ජාතිය නිර්මාණය වන පාලන ක්‍රමයක්‌ ගෙන යැමට වුවමනාවක්‌ තිබුණේ නැත. සමාජවාදයේ බලපෑම මේ වන විට 1917 ඔක්‌තෝබර් විප්ලවයේ උණුසුම ලොව පුරා පැතිර යමින් පැවැති අතර, ලංකාව තුළ ද සමාජවාදී පාලනයක්‌ පිළිබඳ දේශපාලන කතිකාවක්‌ නිර්මාණය වෙමින් තිබිණි. එසේ වූයේ යුරෝපයේ සරසවිවල අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප්‍රමුඛ නායකයන් විසින් ආරම්භ කළ සමසමාජ පක්‍ෂය හා 1943 දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසක්‌ විසින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය විසින් ඒ වන විට ධනේශ්වර පාලන ක්‍රමය විසින් අත්කර දී තිබුණ ආර්ථික පීඩනයට විසඳුම සමාජවාදය බවට මතයක්‌ සමාජගත කරමින් තිබුණ බැවිනි. ඒ වන විට දරුණු ලෙස බැට කමින් තිබුණ ධනේශ්වර පාලනය තුළ සමාජවාදය පිළිබඳ කතිකාවට ඉල්ලුමක්‌ නිර්මාණය වූ බැවින් ධනපති එ.ජා. පයෙන් කැඩී වාමාංශික මුහුණුවරක්‌ සහිතව එහෙත් එ.ජා.පය වැනි ධනවත් පක්‍ෂයක්‌ වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පිහිටුවා, 1956 මැතිවරණයට තරග කරන විට ඉහත කී වමේ පක්‍ෂ හා නිතරග ගිවිසුමකට එළඹීමට උනන්දුවීමට තරම් වමේ පක්‍ෂ ප්‍රබල විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1956 පැවැති මැතිවරණයේදී වමේ පක්‍ෂ රටේ ප්‍රධාන විපක්‍ෂය වීමට තරම් ශක්‌තිමත් පදනමක්‌ ඇති විය. එහෙත් සමසමාජ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂ සමාජවාදී පාලනයක්‌ අරමුණු කර ගනිමින් උපාය හා උපක්‍රම මගින් ඒ සඳහා ජනතාව පෙළ ගස්‌වනු වෙනුවට ඔවුන් කළේ ශ්‍රී ල නිදහස්‌ පක්‍ෂය ප්‍රගතිශිලී පක්‍ෂයක්‌ ලෙස අර්ථ ගන්වා, ඔවුන් සමඟ සන්ධානගත වෙමින් අවස්‌ථාවාදී දේශපාලනයේ නිරත වූවා විනා සමාජවාදී සමාජ ක්‍රමයක්‌ වෙනුවෙන් සැලසුම් සකස්‌ කළේ නැත. එසේ වුවද කම්කරු අයිතීන් හා සමාජවාදී පාලන ක්‍රමයක්‌ වෙනුවෙන් ඔවුහු තවදුරටත් පෙනී සිටියහ. වාමාංශික එක්‌සත් පෙරමුණ බිහිවීම 1960 දශකය ආරම්භ වී කෙටි කලකින් ම එතෙක්‌ වර්ධනය වෙමින් ආ ධනේශ්වර අර්බුදයේ බරින් පීඩා විඳි කම්කරු පංතියට සමාජවාදය සඳහා කැප වූ පක්‍ෂ දක්‌නට නොලැබුණ බැවින්, යහපත් ජීවන තත්ත්වයක්‌ අපේක්‍ෂාවෙන් සමසමාජ - කොමියුනිස්‌ට්‌ පක්‍ෂ වටා ගොනු වන්නට විය. ඒ අනුව 1963 වන විට මෙම පක්‍ෂ විසින් කම්කරු පංතිය වෙනුවෙන් ඉල්ලීම් 21 ක්‌ පෙරදැරිව අරගලයක්‌ ආරම්භ කළහ. මේ අරගලය දේශපාලන අරගලයක්‌ දක්‌වා වර්ධනය කර රාජ්‍ය බලය දිනා ගැනීම අරමුණු කර ගනිමින් ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය හා මහජන එක්‌සත් පෙරමුණ යන පක්‍ෂ වාමාංශික එක්‌සත් පෙරමුණ ලෙස නව සංවිධානයක්‌ පිහිටුවා ගත්හ. එහි මංගල රැලිය ගොල්ෙµaස්‌ පිටියේ පැවැත්වූ අතර එය වැඩිම කම්කරු සහභාගිත්වයක්‌ සහිත රැලියක්‌ බවට ඉතිහාසයට එක්‌විය. එම රැලියේදී තමන් සමසමාජ පක්‍ෂයේ 'ගල්' කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ 'වැලි' හා මහජන එක්‌සත් පෙරමුණේ 'සිමෙන්ති' යොදා කම්කරු ඉල්ලීම් දිනා ගැනීමටත්, සමාජවාදය ජයග්‍රහණය කිරීමටත්, ශක්‌තිමත් අත්තිවාරමක්‌ සහිත පක්‍ෂයක්‌ නිර්මාණය කළ බවත්, එය සමාජවාදය වෙනුවෙන් කැපවෙනු ඇති බවත් එම පක්‍ෂවල නායකයන් ජනතාව හමුවේ ගිවිසුමක්‌ අත්සන් කර ශපථ කර පැවසූහ. එහෙත් එම ගිවිසුමේ තීන්ත වේලෙන්නටත් පෙර ඇමැතිධුර තුනක්‌ හා උප ඇමැති ධුර දෙකක්‌ වෙනුවෙන් අරගලය පාවා දුන් සමසමාජ පක්‍ෂය රජයට එක්‌ වූ අතර, පසු කලෙක මහජන එක්‌සත් පෙරමුණ ද එ.ජා.පයට එක්‌විය. ඒ අනුව වාමාංශික එක්‌සත් පෙරමුණ සුනු විසුනු වී යැම හේතුවෙන් සමාජවාදය දිනා ගැනීම පිණිස කටයුතු කරන පක්‍ෂයක්‌ සඳහා වූ රික්‌තයක්‌ රට තුළ නිර්මාණය විය. මේ වන විට එවකට පැවැති වමේ ව්‍යාපාරය, ඔවුන්ගේ සමාජ භාවිතාව පැවැති ඓතිහාසික තත්ත්වයන්ට සාපේක්‍ෂව සීමිත ප්‍රගතිශීලී බවක්‌ පෙන්නුම් කළ ද ඔවුන් කෙරෙහි සමාජ විශ්වාසය බිඳ වැටී තිබිණි. ජනතා විමුක්‌ති පෙරමුණ බිහිවීම මේ වන විට වමේ පක්‍ෂ විසින් යෑපුම් මට්‌ටමේ දේශපාලනයක්‌ විනා සමාජවාදය වෙනුවෙන් කැප නොවන පක්‍ෂ බවට ඔවුන්ගේ භාවිතාව විසින් ම ඔප්පු කර තිබීම හේතුවෙන් පැහැදිලි වමේ පක්‍ෂයක අවශ්‍යතාව අවුරුදු විස්‌සක්‌ තරම් වූ වයසැති තරුණයෙක්‌ දුටුවේය. මේ වන විට සෝවියට්‌ දේශයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි මෙම තරුණයා අන් කවරෙකුවත් නොව බාලපටබැඳි නන්දසිරි විඡේවීර නොහොත් රෝහණ විඡේවීර නම් විය. ජීවිත සුවපත් කිරීමට වෛද්‍ය විද්‍යාව හදාරන අතරතුරම තම පියාගේ ආභාසයෙන් දේශපාලනය කෙරෙහි වූ ඇල්ම නිසාම සෝවියට්‌ දේශය තුළදී දේශපාලන විද්‍යාව හා දර්ශන විද්‍යාව හදාරන්නට විය. මෙම අමතර ඉගෙනීම කොතෙක්‌ සාර්ථකවව සිදුකළේ ද යත් ඒ වෙනුවෙන් රන් පදක්‌කමක්‌ දිනා ශිෂ්‍යත්වයක්‌ ද හිමිකර ගනු ලැබීය. එමගින් සෝවියට්‌ සමූහ ගොවිපළවල් නොමිලේම නැරඹීමේ වාසනාව ලත් මොහු සෝවියට්‌ මෝල්ඩාවියානු ගොවිපළෙත් වැඩ කර ප්‍රායෝගික අත්දැකීමක්‌ ද ලබා ගත්තේය. මේ වන විට වෛද්‍ය විද්‍යාව හැදැරීම නොපිරිහෙළා ඉටු කළ ද ඉන් ජීවිත සුවපත් කරනවාට වඩා ධනේශ්වර ආර්ථික පීඩනයෙන් ඔත්පළව පැවැති ලාංකේය සමාජය සුවපත් කිරීම වැදගත් බව මෙම නව යොවුන් තරුණයාට අවබෝධ විය. ධනේශ්වර ආර්ථික අර්බුදයට එකම විසඳුම සමාජවාදය බව තදින්ම විශ්වාස කළ ඔහු ඒ පිළිබඳව න්‍යායාත්මකව පුළුල් අවබෝධයක්‌ ලබා එහි ප්‍රායෝගික ක්‍ෂේත්‍රය ද මැනවින් ප්‍රගුණ කළේය. මේ වන විට ලෝක සමාජවාදී ව්‍යාපාරය චීන සහ සෝවියට්‌ වශයෙන් කඳවුරු දෙකකට බෙදී තිබුණ අතර, සෝවියට්‌ සමාජවාදය නිලධාරිවාදයට යටවෙමින් අනාගතයේ අනතුරකට ලක්‌වන බව පෙන්වා එය නිවැරැදි කළ යුතු බවට විවේචන එල්ල කරනු ලැබීය. සෝවියට්‌ දේශයෙන් ශිෂ්‍යත්වයක්‌ ලැබ සිටින අතරතුරම සෝවියට්‌ පාලන ක්‍රමය විවේචනය කිරීම තුළ තම ශිෂ්‍යත්වය ද අහිමි විය හැකි බව විඡේවීරයන් හොඳින්ම දැන සිටියද, පෞද්ගලික ජයග්‍රහණවලට වඩා තම රට සුවපත් කිරීම වැදගත් කොට සැලකූ ඔහු සමාජවාදයේ නිවැරදි භාවිතාව පිළිබඳව නිරීක්‍ෂණය කරන්නට විය. ඒ අනුව කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ චීන පිල තෝරා ගත් ඔහු ඒ තුළ ක්‍රියාත්මක විය. ඒ අනුව නිවාඩුවක්‌ ලද හැම විටම ශ්‍රී ලංකාවට පැමිණ චීන පිල හා එක්‌ව දේශපාලන කටයුතු කරන්නට විය. මේ අතර නිවාඩුවකට ලංකාවට පැමිණි මොහුට ආපසු යන්නට වීසා ලබාදීම සෝවියට්‌ තානාපති කාර්යාලය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙවැන්නක්‌ සිදුවන බව කල්තියාම දැන සිටි විඡේවීරයන් තමන්ට වීසා ලබා නොදෙන්නේ මන්දැයි යන්නවත් නොවිමසා කිසිදු කම්පනයකින් හෝ කලකිරීමකින් තොරව ඔත්පළ වූ ලාංකේය සමාජය සුවපත් කරනු උදෙසා පූර්ණ කාලීන දේශපාලනය තෝරා ගනු ලැබීය. එහිදී චීන පිල හා කටයුතු කරද්දී එහි නායකයාගේ මාක්‌ස්‌වාදියකුට නොගැළපෙන ජීවන රටාව, සාම්ප්‍රදායික නායකයකු ලෙස කටයුතු කරනවා විනා රට තුළ සමාජවාදය ජයග්‍රහණය කිරීමට කැප වී කටයුතු නොකිරීම හා ලාංකේය විප්ලවයේ පුරෝගාමී බළකාය වතුකරයේ දෙමළ ජනතාවය යන පටු ආකල්පවලට සීමා වෙමින් කටයුතු කිරීම වැනි චීන පිලේ නායක එන්. ෂන්මුගදාසන්ගේ දේශපාලන භාවිතාව විඡේවීරයන් ප්‍රශ්නාර්ථයක්‌ වුවද, එව වැරදි නිවැරැදි කර ගන්නට උත්සාහ කරන අතරතුරම තම පක්‍ෂය වෙනුවෙන් කැප වී ක්‍රියා කළේය. ඒ නිසාම චීන පිල තුළ විඡේවීරයන්ට විශේෂ පිළිගැනීමක්‌ ඇති විය. සමාජවාදය සඳහා කැප වන හා ඒ සඳහා අවංක අවශ්‍යතාවය සහිත නායකත්වයකින් හා මාක්‌ස්‌ ලෙනින්වාදී භාවිතාවකින් යුත් පක්‍ෂයක අවශ්‍යතාවය තේරුම් ගත් රෝහණ විඡේවීරයන් ඒ අරමුණ ජයග්‍රහණය කිරීම පිණිස 1965 වෙසක්‌ පෝය දින එනම් මැයි 14 දින හත්දෙනෙකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ සමඟ අක්‌මීමන කරුණාරත්නගේ නිවසේදී මුල්ම සාකච්ඡාව පැවැත්විය. මේ සියලු දෙනාම විඡේවීරයන් චීන පිල හා කටයුතු කරද්දී හඳුනාගත් අයයි. මේ සිදුවීමත් සමඟ චීන පිල හා සම්බන්ධකම් බිඳ වැටුණ අතර අවුරුදු විසිදෙකක්‌ වූ මේ නව යොවුන් තරුණයා නව පක්‍ෂයක්‌ ආරම්භ කිරීමේ දුෂ්කරම කටයුත්තට අත ගැසුවේය. ඒ වන විට ලාංකේය සමාජය තුළ 'දේශපාලන උරුමය' තිබුණේ පවුල් බලය, ධන බලය හිමි සේනානායක, බණ්‌ඩාරනායක වැනි වලව් පැලැන්තියට හා ධනේශ්වර රටවලින් අධ්‍යාපනය ලද දිලිසෙන නමක්‌ ඇතිකර ගත් ආචාර්යවරුන්ට වුවද ඒ සියලු පක්‍ෂවලට හා පුද්ගලයන්ට අභියෝග කරමින්ද, එසේ ක්‍රියා කරද්දී හමු වූ අභියෝගවලට අභියෝග කරමින්ද කටයුතු කළ ඔහුට ඒ මොහොතේ වත්කම හැටියට තිබුණේ කැපවීම හා උනන්දුව පමණි. බස්‌ ගාස්‌තු සොයා ගැනීම සඳහා තිස්‌සමහාරාම බස්‌ නැවතුම්පළේ මුට්‌ට කර ගැසූ විඡේවීර එමගින් දුන් ආදර්ශය තම ව්‍යාපාරය වෙනුවෙන් කළ කැපවීමට එක්‌ සාධකයක්‌ පමණි. මේ වන විට ජනතා විමුක්‌ති පෙරමුණ ලෙස ක්‍රියාත්මක වූ විඡේවීර ප්‍රමුඛ කණ්‌ඩායමට ඒ වන විට බලයේ සිටි එ. ජා. පක්‍ෂය විවිධ මර්දනයන්ට මුqහුණ දෙන්නට සිදුවිය. ඒ සියලු මර්දනයන් ශක්‌තියක්‌ බවට පත්කර ගෙන කටයුතු කළ විඡේවීරයන්ගේ නායකත්වයෙන් යුතු ජනතා විමුක්‌ති පෙරමුණ තම අයිතීන් අහිමි කිරීමට එරෙහිවත්, හිමිවිය යුතු සාධාරණ අයිතීන් දිනා ගැනීම පිණිසත් අරගල කිරීමට ඇති අයිතිය මොහොතකටවත් පාවා නොදුන් විඡේවීරයන් කිසිවකින් නොසැලී තම පක්‍ෂය පුළුල් කිරීමේ කටයුතු දිගටම කරගෙන ගියේය. මර්දනය අරඹයි 1970 අප්‍රේල් 10 දින හයිඩ් පිටියේ පැවැති රැලියෙන් තිගැස්‌සුණ රජය වෙනුවෙන් ප්‍රකාශයක්‌ කළ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ස්‌ථිර ලේකම් රාඡ්කුමාර් රත්නවේල් ජවිපෙ සමගි පෙරමුණු රජයේ අංක එකේ සතුරා හැටියට සලකා එය ලුහුබැඳ විනාශ කළ යුතු බවට ප්‍රකාශයක්‌ නිකුත් කරනු ලැබීය. 'සන්' පත්‍රය වාර්තා කළ පරිදි ජවිපෙට එරෙහිව ඔත්තු බැලීම සඳහා සේවා ඒකක 61 පිහිටවනු ලැබීය. දිගින් දිගටම මර්දනය උත්සන්න වෙද්දී 1971 පෙබරවාරි 27 දින ජ.වි.පෙ. කොළඹ රැලියක්‌ පවත්වා මර්දනය නතර කරන මෙන් රජයට බල කරනු ලැබීය. එහෙත් සිදු වූයේ මර්දනය තව තවත් උත්සන්න කිරීමය. 1971 මාර්තු 5 දින දිවයින පුරා ජ.වි.පෙ. මර්දන පෙරහුරුවක්‌ පොලිසිය විසින් දියත් කරනු ලැබීය. 1971 මාර්තු 13 වැනි දින විඡේවීරයන් අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, ඒ වන විට 600 ක්‌ තරම් තරුණයන් අත්අඩංගුවට ගෙන තිබිණි. 1971 මාර්තු 16 හදිසි නීතිය ක්‍රියාත්මක කළ අතර පසුව මරණ පරීක්‍ෂණයකින් තොරව මළ කඳන් ඉවත් කිරීමට පොලිසියට බලය පවරන ලදී. මෙම තත්aත්වය තුළ ජ.වි.පෙ ට සිදුවූයේ රාජ්‍ය බලය ඇල්ලීම සඳහා කැරලි ගැසීමට නොව ආත්මාරක්‍ෂාව ගැන කල්පනා කිරීමටය. ඒ අනුව ඔවුන් තීරණය ගත්තේ පහරදී එක්‌ රැයකින් බලය අල්ලා ගැනීමට නොව නිර්ධන පංති දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට එරෙහිව තම ආත්මාරක්‍ෂාව සඳහා ප්‍රතික්‍රියා දැක්‌වීමටය. ඒ අනුව අයිතීන් වෙනුවෙන් සටන් කොට මිය යැම දණින් වැටී ජීවත්වනවාට වඩා අභිමානවත් බව තෝරා ගත්හ. ඒ අරගලය සියල්ල සම්පූර්ණ වූ අරගලයක්‌ නොවූ, අඩුපාඩු හා විවේචන සහිත අරගලයක්‌ විය. ඒත් තම අරමුණ පාවා නොදී ඒ වෙනුවෙන් සටන් කොට මියයැමේ ශ්‍රේෂ්ඨත්වයට හිමිකම් කියූ ඒ අරගලය ධනපති ක්‍රමයට අභියෝග කළ, එමෙන්ම අභියෝගවලට අභියෝග කිරීමේ ආදර්ශය ලබාදුන් අරගලයකි. පුද්ගලයකුගේ හෝ පුද්ගල සමූහයකගේ හිතලුවක්‌ හෝ බලහත්කාරකමක්‌ නොව ආත්මාරක්‍ෂාව සඳහා දෙපයින් සිට ප්‍රතිචාර දැක්‌වීමක්‌ වූ 71 අරගලය මර්දනය හමුවේ දණින් වැටී මියයනවාද නැතහොත් පංති දේශපාලනයේ අයිතීන් වෙනුවෙන් සටන් කොට මියයනවාද යන ප්‍රශ්නයේදී මොවුන් තෝරා ගන්නේ අයිතීන් වෙනුවෙන් සටන් කොට මිය යැමයි. මෙය ධනේශ්වර පාලක පංතියකට එරෙහිව නැගී සිටි පළමු නිර්ධන පංති අරගලය බව පිළිගැනීමයි. මෙම සිදුවීමෙන් පසු තරුණ අසහන කොමිසම, ඉඩම් කොමිසම වැනි විසඳුම් ගෙන ආවේ අරගලයට හේතු වූ සාධක ඉවත් කිරීමටය. ගීත, නාට්‍ය හා ලේඛන කලාවට ද මෙම අරගලය බලපෑම් කරනු ලැබුවා පමණක්‌ නොව එය දැඩි අර්ථවත් පරිවර්තනයක්‌ කිරීමට සමත් විය. පොදු වුවමනාව පෙරදැරිව දේශපාලනය කිරීමට තමන්ට ඇති ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් 71 අරගලයේදී දැනුවත්වම සිය ජීවිතය කැප කළ තරුණ කැලට ප්‍රණාමය පුද කරමි.

No comments:

Post a Comment