Thursday 11 October 2012

මාලක සිල්වාගෙන් පහර කෑ මේජර් සේවයෙන් ඉවතට?

පසුගියදා කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී ඇමති පුත් මාලක සිල්වාගේ ප්‍රහාරයකට ලක්‌වූ යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයාට දඬුවම් නියම කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් හමුදා නීතියට අනුව තම නිර්දේශය එම බළකායේ බළකාධිපති වෙත ඉදිරිපත් කළ බව පවසා ඇත. යුද හමුදා බුද්ධි බළකායේ මේජර් චන්දන ප්‍රදීප් සුසෙන් තම රාජකාරි ගිනි අවිය රැගෙන හමුදාවෙන් ඔහුට නොපැවරූ රාජකාරිමය නොවන ක්‍රියාවක නිරතව ඇති බැවින් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක්‌ කර ඇතැයි මූලික යුද හමුදා පරීක්‌ෂණ මණ්‌ඩලය යුද හමුදාපතිවරයා වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔහුට එරෙහිව දඬුවම් පනවන ලෙස නිර්දේශ කරමින් යුද හමුදාපතිවරයා විසින් සන්නද්ධ බුද්ධි බළකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා වෙත පෙරේදා (09) දැනුම් දී තිබේ. නමුත් දඬුවම් නියම කිරීම හෝ ලබාදෙන දඬුවම තීරණය කිරීම තමා සතු කාර්යයක්‌ නොවන බවද බුද්ධි බළකාධිපතිවරයා විසින් නියම කරන දඬුවම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීම තමා විසින් සිදුකරන බවයි. නමුත් එම දඬුවම කුමන ආකාරයකද යන්න තමාට තවම පැවැසිය නොහැකි බව ජයසූරිය පවසා ඇත. කෙසේ වෙතත් මේජර්වරයා කර තිබෙන වරදේ ස්‌වභාවය අනුව ඔහු හමුදාවෙන් ඉවත් කිරීම හෝ වෙනත් දඬුවමක්‌ නියම කිරීමට හැකි බවත්, මේජර්වරයා එම දඬුවමට එකඟ නොවී යුද අධිකරණයක්‌ ඉල්ලා සිටිය හොත් තමා යුද අධිකරණයක්‌ පත්කරන බවත් ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment