Monday 20 August 2012

වැල්ලවත්ත ත්‍රිපුද්ගල මරණ - පුත්‍රයා රටින් පිටවීම වැළකීමට අධිකරණ නියෝග

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ මාවතේ නිවසක් තුළ අභිරහස් ලෙස පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ එම පවුලේ පුත්‍රයා රටින් පිටවීම වළක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය. වැල්ලවත්ත පොලිසිය අධිකරණයට දැන්වා සිටි පරිදි මෙතෙක් ඔහු සොයාගැනීමට හැකි වී නැත. පෙරේදා (18) අදාළ නිවස තුළින් සොයාගැණුනේ මිය ගොස් සිටි එකම පවුලේ මව, පියා සහ දියණියකගේ සිරුරුය. අදාළ මරණ සම්බන්ධයෙන් අද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුනු අතර මියගිය පුද්ගලයින්ගේ ආමාශගත කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. මේ අතර අදාළ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැල්ලවත්ත පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසුවේ මියගිය පුද්ගලයින්ගේ පවුලේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බවය. එහෙත්, එම පුද්ගලයා මෙතෙක් සොයාගෙන නැත. එම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර විවාහ සහතිකයේ නම වෙනස් කිරීමට උත්සහ කර ඇති බව අධිකරණයට දැන්වූ පොලිසිය කියා සිටියේ ඒ සඳහා විවාහ සහතිකය ඥාතියකුට ලබා දී ඇති බවය. එම ඥාතියා අදාළ විවාහ සහතිකය සකස් කර ආපසු ලබාදීමට වැල්ලවත්ත නිවසට පැමිණි අවස්ථාවේදී මෙම මරණ තුන පිළිබඳ අනාවරණ වී ඇත. කෙසේවෙතත්, අදාළ පුත්‍රයාගේ දුරකතන සංවාද පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණ. මියගිය තිදෙනාගේ සිරුරු තමනට භාරදෙන ලෙස ඥාතීන් කළ ඉල්ලීමට අවසර දුන් අධිකරණය කියා සිටියේ කොහුවල පොදු සුසාන භූමියේදී එම සිරුරු මිහිදන් කරන ලෙස ය. ඒ අනුව, අද පෙරවරුවේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරු සිරුරු අදාළ ඥාතීන් වෙත භාර කෙරිණ.

No comments:

Post a Comment