Monday 6 August 2012

තීන්දුව ලැබෙන තෙක් සරසවි ප්‍රවේශය නවතී

සිසුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදුනොකරන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ, ඉසෙඩ් ලකුණුවලින් අසාධාරණයක් වූ බව පවසමින් සිසුන් 33 දෙනෙකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විමසා බැලූ අවස්ථාවේදිය. මෙහිදී විභාග කොමසාරිස්වරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිපති පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගෙන මේ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම ඇතිවීම වැළැක්වීම සඳහා මේ පියවර ගන්නා බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මකව නොමැති බැවින් යළි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවයි. එය විභාගයට ගන්නැයි නීතිඥවරයා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළි ගත්තේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ නීතිපතිවරයා දක්වන කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 30 වනදා පෙත්සම යළි කැඳවන බවයි. එදිනට නීතිපතිවරයා ඉදිරිපත් කරන පියවර පිළිබදව සෑහීමකට පත්වන්නේ නම්, එය ක්‍රියාත්මක කිරීමටත්, එසේ නොවන්නේ නම් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමටත් පියවර ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද අධිකරණයේදී කියාසිටියේ මෙවැනි ගැටලු ඇතිවීමෙන් සිසුන්ට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටිය හැකි බවයි. අගවිනිසුරුවරිය සමඟ කේ. ශ්‍රීපවන් සහ එස්.අයි. ඉමාම් යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීය.

No comments:

Post a Comment