Sunday 2 September 2012

උතුරුමැද වෛද්‍යවරුන් වර්ජනය අතහරී

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කර උතුරු මැද පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් හෙට ආරම්භ කිරීමට තිරණය කළ වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සමාජිකයින් පිරිසක් අනුරාධපුර රෝහලට ගොස් එහි තත්ත්වය සොයා බලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය. ඒ අනුව හෙට යොදාගෙන තිබු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් අදාළ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ‍උතුරු මැද පළාතේ සියලු වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වීමට තිරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කරන ලදී. අනුරාධපුර රෝහලේ රාජකාරිය සඳහා පැමිණෙමින් සිටි වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියකට‍ විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් පසුගිය (31) වැනිදා වැඩ වර්ජනයක නිරතවිය. උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අධාරකරුවන් පිරිසක් පසුගිය (30) වැනිදා රාත්‍රී සේවයට වාර්තාකරමින් සිටි වෛද්‍යවරයෙකුට පහරදුන් බව පවසා අනුරාධපුර ශික්ෂණ රෝහලේවෛද්‍යවරුන් වැඩ වර්ජනය ආරම්භ කරන ලදී. ප්‍රහාරයෙන් තුවාල ලැබු වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

No comments:

Post a Comment