Monday 3 September 2012

උ/පෙළ විභාගයේ දිස්ත්‍රික් හා ජාතික කුසලතා යළි සකසන්නැයි, නියෝග

2011 උසස් පෙළ විභාගයේ, දිස්ත්‍රික් හා ජාතික කුසලතා සකස්කර සැප්තැම්බර් 10 දිනට පෙර නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා විභාග කොමසාරිස්වරයාට අද නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ පසුගිය ජුලි 25 වනදා අධිකරණය දුන් තීන්දුව අනුව මෙම අගයන් සකස් කරන ලෙසයි. 2011 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 400 කට ආසන්න පිරිසක් ගොනු කළ පෙත්සම් 7ක් අද යළි සලකා බැලූ අවස්ථාවේ අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. අගවිනිසුරු ආචාර්ය ශීරානි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග හා කේ. ශ්‍රීපවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණ. 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද අධිකරණයට ඉදිරිපත් කළේය. එහි දී ක්‍රමවේද 4 ක් යෝජනා කර තිබේ. පළමු ක්‍රමවේදය අනුව අමතර සිසුන් 3,675 දෙනෙකු විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත යුතු බව එම වාර්තාවේ සඳහන් ය. දෙවන ක්‍රමවේදය අනුව අමතර සිසුන් 3,048 දෙනෙකු ද තුන්වන ක්‍රමය අනුව අමතර සිසුන් 4928 දෙනෙකු ද බඳවා ගත යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. සිව්වන ක්‍රමවේදය අනුව අතිරේක සිසුන් 4457 දෙනෙකු බඳවා ගත යුතුය. මෙම ක්‍රමවේදයන් 4 සලකා බැලූ අධිකරණය පැවසුවේ තුන්වන ක්‍රමවේදය වන අමතර සිසුන් 4,928 දෙනෙකු ඇතුළත් කරගැනීමේ යෝජනාව වඩාත් සුදුසු බවය. අධිකරණ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවසුවේ ජුලි 25 වනදා දුන් අධිකරණ තීන්දුව අනුව විෂයය නිර්දේශ දෙකින් පෙනී සිටි සිසුන්ගේ දත්ත වෙන වෙනම ගෙන මෙම යෝජනා සකස්කර ඇති බවයි.

No comments:

Post a Comment