Sunday 9 September 2012

ප්‍රතිඵලය කුමකු වුවත් ජනතාවට හෙට පාරට බහින්න සිදුවේවි - ජවිපෙ

කුමන අරමුණු ඇතිව ආණ්ඩුවට ඡන්දය දුන්නත්, ඡන්ද ප්‍රතිඵලය කුමක් වුවත් ඡන්දය දුන්, නොදුන් කාටත් තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට වගේම අයිතිවාසිකම් රැකගැනීමට හෙට සිට මහපාරට බැස ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කිරීමට සිදුවන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලෙක්ම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත් බත්තරමුල පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (09) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ. "ගිනි පෙට්ටියේ සිට වතුර මෝටර්, තහඩු දක්වා ජනතාවට අල්ලස් ලබාදෙමින් ජනාධිපතිවරයා ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් අතුලු ආණ්ඩු බලය, පළාත් පාලන ආයතනවල බලය වගේම රාජ්‍ය මාධ්‍ය වගේම සියලු මාධ්‍යවල අවස්ථාව ලබාගනිමින් මේ පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. සියලු දෙනාට සමාන තත්වයන් යටතේ පැවැත්වූ මැතිවරණයක් නෙවෙයි මේක. රාජ්‍ය බලය උපරිම වශයෙන් යොදාගනිමින් ජනතාව නොඉල්ලූ මැතිවරණයක් ලබාදී බලය කොල්ල කෑමට උත්සාහ කරන බව අපි මුලදිම ජනතාවට පැහැදිලි කළා. නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා තුනේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගන්නේ මේ වගේ පසුබිමක සිටයි. ඒ වගේම ආණ්ඩුව ඡන්දයෙන් දිනුවා කියලා හෙට සිට ජනතාවට මොකද? වෙන්නේ. අතීතයේදී ආණ්ඩුව ඡන්දවලින් දිනලා ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබුණා වගේම හෙට සිට ජනතාවට කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු සේවාවන් කප්පාදුව දිගටම සිදුකරනවා. බඩු මිල ඉහළ දමනවා. ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. මේ වෙනුවෙන් මහජන මුදල් නාස්තිය සහ වංචාව දූෂණය පෙර පරිදිම යොදාගන්නවා. ඒ වෙනුවට ඇමතිවරුන්ගේ ඡන්දය ඉල්ලූ ඥාතීන්ට වගේම හිතවතුන්ට මහජනතාවගේ ධනය වැයකරමින් විවිධ වරප‍්‍රසාද ලබාදෙනවා. ඡන්දය භාවිතා කිරීමේදී මහජනතාව මේ පිළිබඳව කල්පනා කළ යුතුව තිබුණා. නමුත් විවිධ හේතු නිසා ඔවුන් මේ බව කල්පනා කළේ නැහැ. තමන්ට ආණ්ඩුවෙන් මොකක් හරි කරගන්න ඡන්දය දුන්නා. ඒ වගේම පවතින ආණ්ඩු බලය ඉදිරියේ තමන් පීඩාවට පත්වෙයි කියන අදහසින් ආණ්ඩුවට ඡන්දය දුන්නා. මින් කුමන අරමුණු ඇතිව ආණ්ඩුවට ඡන්දය දුන්නත් හෙට සිට සිදුවන්නේ ආණ්ඩුවට ඡන්දය දුන්, නොදුන් කාටත් තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට වගේම අයිතිවාසිකම් රැකගැනීමට මහපාරට බැස උද්ඝෝෂණය කිරීමටයි. ඒ වගේ තම සාධාරණ අයිතීන් දිනාගැනීමට කරන උද්ඝෝෂණවලට හැමදාමත් වගේම ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙනවා. මේ මැතිවරණ ප‍්‍රතිඵලය ඒ ජනතා සටන්වලට නායකත්වය දීමට කිසිසේත්ම බාධාවක් නොවෙයි. මැතිවරණවලට ඉදිරිපත්වීම ජනතාව විමුක්ති පෙරමුණේ එක කි‍්‍රයාමාර්ගයක් පමණයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවාදී පක්ෂයක් නෙවෙයි. මැතිවරණවලින් පලායන පක්ෂයකුත් නෙවෙයි. කුමන දුෂ්කරතා හා අභියෝග තිබුණත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ජයග‍්‍රහණය කරවීමට මැතිවරණ යොදාගැනීම ජවිපෙ කි‍්‍රයාමාර්ගයයි. පසුගිය පළාත් සභාවලට සාපේක්ෂව ජවිපෙ ඡන්ද ප‍්‍රමාණය අඩුබව අපි පිළිගන්නවා. නමුත් අපි අවධාරණය කරන්නේ ඒ තත්වය කිසිසේත්ම ජනතාවගේ සටන්වලට නායකත්වය දීමට අපිට බාධාවක් නොවන බවයි. ඡන්දයට ලබාදුන් උදලුතල, ටකරන් තහඩු හෙට සිට මළකඩ කන්න පටන් ගන්නවා. ඒ අතරතුර වගාහානී වෙනුවෙන් වන්දි ඉල්ලා ගොවීන්ගේ සටන් ඇවිලෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සටන් ඉදිරියටම යනවා. ආණ්ඩුව පාසල් වසා දමමින් තිබෙනවා. එයට විරුද්ධව විවිධ විරෝධතා ඇතිවෙනවා. විශ්වවිද්‍යාලවලට තේරුණ ශිෂ්‍යන්ගේ ප‍්‍රශ්න විසඳාගැනීමට අරගල කළ යුතුව තිබෙනවා. උපාධිධාරීන්ට රැකියාලබාගැනීමට අරගල කළ යුතුව තිබෙනවා. ආණ්ඩුව ඡන්දය දිනුවා කියලා මේ කිසිම ප‍්‍රශ්නයකට විසඳුම් ලැබෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පීඩිත ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අරගල කිරීමට ඡන්ද ප‍්‍රතිඵලය කිසිසේත් බාධකයක් නොවෙයි කියා කියන්නේ ඒ නිසයි. පළාත් සභා මැතිවරණය පදනම් කරගනිමින් බිම් මට්ටම දක්වා ජනහමු පවත්වමින් ජනතාව සමග ලොකු සංවාදයක් කිරීමට ජවිපෙ සමත් වුණා. ඔවුන්ට දේශපාලන දැනුම ලබාදුන්නා. රටේ ආර්ථිකය කඩාවැටීම, සමාජ සංස්කෘතික පරිහානිය, අපරාධ වැඩිවීම වගේ තත්වයන් ගැන ජනතාව සමග පුළුල් ලෙස සාකච්ඡා කළා. මැතිවරණය පැවැති දිස්ති‍්‍රක්කවල අපි මේ සාකච්ඡාව ඉදිරියටත් ගෙනයෑමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් අපි ඉක්මනින්ම සකස් කරනවා. ජනතාවගේ ප‍්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබාදිය හැක්කේ පවතින මේ ධනපති පාලන ක‍්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බව අපි අවධාරණයෙන් කියා සිටිනවා. ජනතාව පවතින යථාර්තය තේරුම් ගන්න බව අපට විශ්වාසයි. ජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරමින් නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී වගේම අදත් හෙටත් සූදානම්. මේ ඡන්ද ප‍්‍රතිඵල වලින් ආණ්ඩුව සහ ආණ්ඩුවේ කීපදෙනෙක් සතුටුවන බව අපි දන්නවා. නමුත් සමස්ත ජනතාවකට බලපාන ප‍්‍රශ්න වෙනුවෙන් සාධාරණ උත්තර ලබාගැනීමට ඔවුන් කරමින් සිටින අරගලවලට නිවැරදි නායකත්වයක් ලබාදීමට ආණ්ඩුවේ සතුටට පත්වූ කිහිපදෙනගේ ජයග‍්‍රහණය බලපාන්නේ නෑ. මහජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සටන් කරන ජනතා විමුක්ති පෙරමුණ ඒ ජනතා ජයග‍්‍රහණය දක්වාම කි‍්‍රයාකරන බව අපි සහතික වෙනවා." මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්.... "ආණ්ඩුව මේ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට විවිධ උපක‍්‍රම භාවිතා කළා. ජාතිවාදය සහ කුලවාදය වගේ පහත් පෙළේ කි‍්‍රයාමාර්ග අනුගමනය කළා. සමාජය බරපතල අනතුරකට ලක්කරන එවැනි කි‍්‍රයාමාර්ග කිසිවක් ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේ නැහැ. ඒක අපේ ප‍්‍රතිත්තිය නෙවෙයි. ජනතාවට පවතින තත්වය පිළිබඳ සත්‍ය කරුණු හෙළිකිරීමත් අනාගතයේ ඇතිවිය හැකි තත්වයන් අවබෝධ කර දීමත් අපි අනුගමනය කළා. මේ තත්වය අද තේරුම් නොගත්තාට හෙට තෙරුම්ගන්න බව අපි දන්නවා. පක්ෂයෙන් කණ්ඩායමක් කැඩී ඉවත්වීම ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට බලපෑම් ඇති වන බව අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අඩුවීමට ඒ තත්වය විතරක් බලපෑවා කියා අපි පිළිගන්නේ නැහැ. 1971 සිට විවිධ අභියෝග සහ මර්දනයන්ට අපේ පක්ෂය මුහුණ දුන්නා. 1983 පක්ෂ තහනම වගේම 88-89 කාලයේ රෝහණ සහෝදරයා ඇතුළු නායකයන් ඝාතනය කර පක්ෂය විනාශ කිරීමට ඇතමුන් උත්සාහ කළා. නමුත් ඒ සියලු ප‍්‍රයත්නයන් අසාර්ථක වුණා. මේ ඡන්ද අඩුවීමක් මගින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන අවසන් වේ යැයි කෙනෙක් කල්පනා කරනවා නම් ඒක ඒ තරම් නුවණක්කාර දෙයක් යැයි අපි හිතන්නේ නැහැ. 1965 සිට 81 දක්වා අපි මේ රටේ දේශපාලන කළේ මැතිවරණ එක්ක නෙවෙයි. අපි මැතිවරණවාදී දේශපාලන පක්ෂයක් නෙවෙයි. සාධාරණ අයිතීන් ඉල්ලා සටන් කරන ජනතාව දැනුවත් කරමින් පවතින මේ සමාජ ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට ගන්න කෘතීමව මොකුත් කරන්න ඕන නැහැ. ජනතා සටන්වලට නායකත්වය දෙමින් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්. ආණ්ඩුවක් හැමදාමත් බලයේ ඉන්නේ නැති බව ඉතිහාසයේ ඔප්පු කර තිබෙනවා. කිසිම ආණ්ඩුවක් සදාකාලික නැහැ. ජනතා ප‍්‍රශ්නවලට උත්තර නැත්නම් ඡන්දය දිනුවා කියලා වැඩක් නැහැ. අවුරුදු 17ක් එකදිගට රට පාලනය කළ එජාපයට සිදුවුණු දේ අප දන්නවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මෑත උදාහරණ අපට මතකයි. ඡන්දය දිනුවත් ජනතා නැගිටීම්වලින් ආණ්ඩු වෙනස් කරපු හැටි අපි ටියුනීසියාවේදී දැක්කා. එරට පාලනය කළ බෙන් අලී ජනතා නැගිටීම් හමුවේ පරාජයට පත්කළා. ඒ වගේම ඊජිප්තුවේ හොස්නි මුබාරක් ඡන්දවලින් දිනුවා කියූ නායකයෙක්. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා නැගිටීම්වලින් බලයෙන් පහකර අද විසි අවුරුදු සිරදඩුවමක් ලබනවා. ඒ නිසා ජවිපෙට කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. තිස් අවුරුදු යුද්ධය අවසන්වීමෙන් පසු ජනතා ප‍්‍රශ්නවලට විසඳුම් ලබානොදුන් ආණ්ඩුව විශේෂයෙන් නැගෙනහිර පළාතේ මේ මැතිවරණය තුළින් නැවත ජාතිවාදී නැගිටීම්වලට නැගෙනහිර පළාතේදී පුළුල් ඉඩකඩක් ලබාදුන්නා. සිංහල ජාතිවාදය මෙන්ම දෙමළ මුස්ලිම් ජාතිවාදය එහිදී ඉතා බරපතල ලෙස පතුරුවනු ලැබුවා. ඒ වගේම මැතිවරණ නීතිරීති දැඩි ලෙස උල්ලංඝනය කළා. එහෙත් නැගෙනහිරදී ආණ්ඩුවේ ඡන්දය ගියවරට වඩා ලක්ෂයකින් පමණ අඩුවුණා. මැතිවරණ කොමසාරිස්වරයා මැදිහත්වී ඇතැම් නීති විරෝධී කි‍්‍රයා නැවැත්වීමට කටයුතු කළ බව ඇත්ත. නමුත් ආණ්ඩුවේ සියලු රාජ්‍ය බලය යොදමින් කරගෙන ගිය නීති විරෝධී කි‍්‍රයා සාතිශය බහුතරය නැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නොහැකිවුණා. උතුරු මැද හිටපු මහ ඇමති වාහන තිස් ගණනක් යොදාගෙන මැතිවරණ ව්‍යාපාරය කරගෙන යෑම උදාහරණයක්. මීට එරෙහිව අධිකරණයේ නඩුවක් පවා ගොනුකරනු ලැබුවා. නමුත් එම අධිකරණයට නඩුව විභාග කළ නොහැකි නිසා ඉවත දැම්මා. රාජ්‍ය මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට කිසිවක් කළ නොහැකිවුණා. මේ තත්වයන් පිළිබඳව ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු බව අපි අවධාරණය කරනවා. නැවතත් අපි විශේෂයෙන් මතක් කරන්නේ ජාතිවාදය අවුස්සා ඡන්දය දිනාගැනීමට ජනතාවටත් රටටත් ඉතා අනතුරුදායක තත්වයක් නිර්මානය කර ඇති බවයි. මේ තත්වය පරාජය කරමින් ජාතීන් අතර සමගිය සහ සහෝදරත්වය වර්ධනය කිරීමට ජවිපෙ දිගටම කැපවෙනවා. ඒ වගේම ජනතා ප‍්‍රශ්න කිසිවකට උත්තර ලබාදිය නොහැකි මේ සමාජ ආර්ථික ක‍්‍රමය වෙනස් කිරීමට. ජනතාව සමග දිගටම අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව අපි ප‍්‍රකාශ කරනවා." මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරුමුණේ ප්‍රචාරක ලෙකම් විජිත හේරත් මහතා සහ දේශපාලන මණ්ඩල සභිත අනුර දිසානායකමහතා සහභාගීවිය.

No comments:

Post a Comment