Friday 19 October 2012

කොම්පඤ්ඤවීදියේ අක්කර 8 ක් ඉන්දියාවට දෙන්න අනුමැතිය ලැබෙයි

කොම්පඤ්ඤවීදියේ සංවර්ධන ව්‍යාපෘතිය උදෙසා වෙන්කර ඇති ඉඩම් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සඳහා 99 අවුරුදු බදු පනත යටතේ ඉන්දීය ටාටා හවුසින් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන වෙත පැවරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිවූ බව ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (19) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කළේය. මිශ්‍ර සංවර්ධනයක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ සියලු පහසුකම්වලින් සමන්විත වානි‍ජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැඟිලි සංකීර්ණ මෙහි ඉදිකිරීමට යෝජිතය. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤවීදියේ උතුරට වන්නට ඇති පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද,නැගෙනහිරට මැලේවීදියද,දකුණින් ජස්ටින් අක්බාර් මාවතද,බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන්ද වන අක්කර 8 ක ඉඩම් ප්‍රමාණය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට පවරා ගනු ඇත. මෙම බිම් ප්‍රදේශය තුළ නිවාස ඒකක 456 ක ජනතාව ජීවත්වන බව සමීක්ෂණයකින් හෙළිවී ඇති බවත්, එකී සියලුම ජනයා ප්‍රදේශයේම පදිංචි කරවීමට කටයුතු කරන බවත් සඳහන්ය. ආයෝජකයා විසින් වානිජ ආයෝජන ආරම්භ කිරීමට පෙරාතුව ඒ සෑම පවුලකටම වර්ග අඩි 400 ට නොඅඩු නිවාස ඒකක බැගින් ලබාදිය හැකි සේ ප්‍රථමයෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකරන බවත්, ප්‍රදේශයේ වැසියන් සමග සාකච්ඡා කොට ඔවුන්ට මහල් නිවාස ඉදිකරන තෙක් තාවකාලික නිවාස සපයා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් මාසික කුලියක් ලබාදීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment