Friday 19 October 2012

ආසියානු කලාපයේ පුළුල්තම චේ ගෙවාරා සැමරුම මෙවර කොළඹදී පවත්වනවා - බිමල්

මෑත කාලයේ ආසියානු කලාපයේ සිදුකරන පුළුල්තම චේ ගෙවාරා සැමරුම ඔක්තෝබර් 22 දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී දෙස් විදේස් ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (19) පැවැති මාධ්‍ය හමුවකදීය. බිමල් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසූ අදහස් පහත පළවේ. ''අප සමාජවාදී තරුණ සංගමය ලෙස පසුගිය 08 වෙනිදා සිට මේ දක්වා දිස්ති‍්‍රක් මට්ටමින් චේ ගෙවාරා සහෝදරයා සැමරීම නිමිත්තෙන් වැඩ සටහන් ගණනාවක් සංවිධානය කළා. 1967 ඔක්තෝබර් 08 වෙනිදා චේ ගෙවාරා ඝාතනය කළා. ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය මගින් ඔහු ඝාතනය කරලා මේ වර්ෂයට වසර 45ක් ගත වෙනවා. ඔහු සිහිපත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන් මාලාව කි‍්‍රයාත්මක කළා. මෑත කාලයේ ආසියානු කලාපයේ සිදුකරන පුළුල්තම චේ ගෙවාරා සැමරුම පැවැත්වීමට මේ වනවිට අපි කටයුතු සූදානම් කර තිබෙනවා. එය ලබන 22 විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී දෙස් විදේස් ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනවා. ලෝකයේ තරුණ විප්ලවවාදී නායකයා වන, ලෝකයේ බොහොමයක් තරුණ කණ්ඩායම්වල ප‍්‍රභල විශ්වාසයක්, ආදරයක් දිනාගෙන ඉන්න, දේශපාලන නායකයෙක් වන චේ ගෙවාරා කියන පුද්ගලයා අපේ රටෙත් ලෝකයේත් විශාල ආකර්ශනයක් දිනාගෙන සිටිනවා. නමුත් ඔහු තමන්ගේ ජීවිතය කැප කළේ, ජීවිතය පූජා කළේ කුමකටද යන්න පිළිබඳ තරුණ තරුණියන් අතර නිසි අවබෝදයක් නැහැ. එම අවබෝධය ලැබිය යුතුයි කියලා අප විශ්වාස කරනවා. චේ ගෙවාරාගේ විලාසිතාවට, ආකර්ශනයට එහා ගිය ජීවන ආදර්ශයක් තරුණ තරුණියන්ට ලබාදීම වෙනුවෙන් තමයි අපි මේ චේ සැමරුම කි‍්‍රයාත්මක කරන්නේ. 2008 සිට අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. ඒ වගේම අද ලෝකය පුරාම රටවල් අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම්වලට ලක්වෙමින් තිබෙනවා. රටවල් බෙදන්න, විනාශ කරන්න, යුද්ධ ඇතිකරන්න, ආර්ථිකය අධ්‍යාපනය ආදිය වෙනුවෙන් කරන මැදිහත්වීම් තිව‍්‍රර වෙමින් තිබෙනවා. එසේ අධිරාජ්‍යවාදය වෙනුවෙන් බැටකන ලෝකය පුරා තරුණ තරුණියන් වෙනුවෙන් වගේම අපේ රටේ තරුණ තරුණියන් අතරටත් චේ පිළිබඳව අත්දැකීම් සම්පේ‍්‍රෂණය කරන්න අපි තීරණය කරලා තිබෙනවා. චේ ගෙවාරා සැමරුමත් සමග තරුණ තරුණියන්ට වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳ අපේ අවධානය යොමුකරනවා. විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ සලකා බැලූවොත් අපේ රටේ තරුණ තරුණියන්ට අදාලව ආසියානු කලාපයේ අඩුම උසස් අධ්‍යාපන අවස්ථාවන් හිමි කණ්ඩායමක් බවට ඔවුන් පත්වෙලා තිබෙනවා. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් එක වර්ෂයකට 6%කට පමණයි උසස් පෙළ වරම් හිමි වන්නේ. අපේ රට ලෝකයේ නිදහස් අධ්‍යාපනය ආරම්භ කරපු රටවල්වලින් එකක්. නමුත් මේ වනවිට අධිරාජ්‍යවාදී බලපෑම්වලට යටවීම නිසා සුවිශාල වශයෙන් අධ්‍යාපනය කප්පාදු වෙලා. තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපන අවස්ථාවන් අහිමි වෙලා. අපේ රටේ අධ්‍යාපන අයිතිය තරුණ තරුණියන්ගෙන් ඉවත් කරන්නේ ඇයි? පැහැදිලිවම අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිවලට අපේ රටේ ආණ්ඩු හිස නමා තිබෙන නිසයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කරපු 6% අරගලයට අපි තරුණ සංගමය විදියට සහාය පළ කළේ මේ තත්වයන් නිසයි. නමුත් අදවන විට ආචාර්යවරුන්ගේ අරගලය නිමා වෙලා තිබෙනවා. එසේ තිබියදී වත්මන් ආණ්ඩුව 2013 විසර්ජන පනතෙන් අධ්‍යාපන සඳහා දළජාතික නිෂ්පාදනයෙන් වෙන්කරලා තිබෙන්නේ 1.5%ක් පමණයි. 1.86% තිබුණ ප‍්‍රමාණය 1.5% දක්වා අඩුකරලා තිබෙනවා. එක පැත්තකින් මේ ආණ්ඩුව පෙන්වනවා ජනතාවගේ සාධාරණ අරගලවලට ඇහුන්කන් දෙන්නේ නැති බිහිරි අලින් සිටින ආණ්ඩුවක් බව. අනෙක් පැත්තෙන් රාජපක්ෂ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී බණ දේශනා කරමින් අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්ති මත අධ්‍යාපනය විනාශ කරමින් ඉන්නවා. මේ රටේ එක් පරම්පරාවකින් එනම් වර්ෂයකට උපදින තුන්ලක්ෂ පනස්දහසක් පමණ දරුවන්ගෙන් 20,000ක ප‍්‍රමාණයක් පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට හිමිකම් කියන්නේ. ඔවුන් තමයි වැඩිපුරම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන්නේ. නමුත් අපි විශ්වාස කරන්නේ උසස් අධ්‍යාපනය අහිමි වෙලා අසාධාරණයට පත්වන 330,000ක පිරිසක් මෙම උසස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් හඩ නැගිය යුතුයි කියලා. ඒ අතරිනුත් උසස් පෙළ සමත් වෙලා 120,000ක් පමණ ගෙදර නතර වෙනවා. මේ නිසා අපි සමාජවාදී තරුණ සංගමය ලෙස තරුණ තරුණියන්ගේ උසස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කිරීමටත් මේ චේ දින සැමරුමට සමගාමීව අපි වැඩසටහන් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අධිරාජ්‍ය විරෝධී අරගලයක නිරතවුණු චේ ගුවේරා සහෝදරයාගේ අත්දැකීම් සම්බන්ධ කරගනිමින් උසස් අධ්‍යාපන අයිතිය දිනාගැනීම මූලික කරගත් නව තරුණ ව්‍යාපාරයක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ලබන 22 වෙනිදා අප විසින් සිදුකිරීමට බලාපොරොත්තු වන චේ ගුවේරා සැමරුම මූලික වශයෙන් ප‍්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමින් සිදුකරනවා. එනම් කියුබානු සහයෝගිතා වැඩසටහනක් මෙන්ම චේ ගුවේරා සැමරුමත් යන වැඩසටහන් ද්විත්වයයි. ඔබ දැනටමත් දන්නවා ඇති චේ ගුවේරා තම ජීවිතය කැප කළේ කියුබාව වෙනුවෙන්. ඒ වගේම වසර 50ක් පමණ තිස්සේ ඇමරිකානු සම්බාධක හමුවේ නොසැලී සිටින රටක් ලෙස කියුබාව හදුන්වන්න පුළුවන්. එනිසා ස්වෛරී රාජ්‍යයකට එරෙහිව ඇමරිකාව සිදුකරන බලපෑම්වලට එරෙහිව කියුබාවට සහාය පලකරන වැඩසටහනක් විදියට එම වැඩසටහන සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම සැමරුම සඳහා කියුබානු තානාපතිනිය, වගේම කියුබානු රජයේ නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම ඉන්දියාව, නේපාලය, වියට්නාමය, බංගලාදේශය ඇතුලූ රටවල් කිහිපයක නියෝජිතයින් පිරිසකුත් මෙම සැමරුමට සම්බන්ධ වීමට නියමිතයි. ඊට සමාගාමීව කියුබානු සහයෝගිතා පෙත්සමක් අත්සන් කිරීමට සූදානම් කරලා තිබෙනවා. ඒ වගේම කියුබාවට එල්ල වෙන බලපෑම් වලට විරෝධය පළකරමින් යෝජනාවක් අත්සන් දසදහස් ගණනක් මගින් සම්මත කර කියුබානු රජයට ලබාදීමට කටයුතු කරනවා. මෙම වැඩපිළිවෙලත් සමග ”අධිරාජ්‍යවිරෝධී සටන්කරුවා චේ” නැමැති කෘතිය එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම තරුණ සමාජ ගොඩනැගීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවත් මෙම සැමරුම් උත්සවයට සමගාමීව ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනතුරුව ලංකාවේ තරුණ කලාකරුවන් සම්බන්ධ කරගනිමින් සංස්කෘතික ප‍්‍රසංගයක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර තිබෙනවා. එනිසා මෙම අධිරාජ්‍යවිරෝධී විප්ලවීය නායකයා සැමරීමට ඔහුගේ ආදර්ශයන් තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගැනීමට, ලබන 22 වෙනිදා සමාජවාදී තරුණ සංගමය සමග අත්වැල් බැඳගන්න කියලා අපි මේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා". මෙම මාධ්‍ය හමුවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික එරංග ගුණසේකර මහතාද සහභාගී විය.

No comments:

Post a Comment