Friday 7 December 2012

විපක්ෂය නැගිටියි

(දෙවෙනි සංස්කරණය) අගවිනිසුරුවරියට එරෙහි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂය නැගිට පිටව ආ බව වාර්තා වේ. අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග පෙත්සම විභාග කිරීමේදී ආණ්ඩුව පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියාකරන බව තවදුරටත් රහසක් නොවන බව කියා සිටින විපක්ෂයේ නියෝජිතයින් සිව්දෙනා, දෝෂාභියෝගය විභාග කිරීමේදී නීතියේ අවම සදාචාරය හෝ රැකීමට ආණ්ඩුව අසමත් වී ඇති බවට චෝදනා කරති. අද (07) ප.ව. 1.30ට විශේෂ කාරක සභාව නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ මේ බව සඳහන් කරමින් කාරක සභාවේ සභාපතිවරයාට ලිපියක් භාරදී ප.ව. 2.30ට පමණ ඉන් නැගිට ආ විපක්ෂයේ නියෝජිතයෝ මේ වන විට ජනමාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්, එක්සත් ජාතික පක්ෂයේ ජොන් අමරතුංග හා ලක්ෂ්මන් කිරිඇල්ල සහ ටී.එන්.ඒ. පක්ෂයේ ආර්. සම්බන්බන්දන් මෙම විපක්ෂයේ සාමාජිකයින්ය. විශේෂ කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයින්ගේ හැසිරීම පිළිකුල් සහගත බව ප්‍රකාශ කරමින් ඊයේ (06) සවස අගවිනිසුරුවරිය විශේෂ කාරක සභාවෙන් නැගිට ගිය අතර පසුව ඇගේ නීතීඥවරුන් මාධ්‍ය වෙත පැවසුවේ තවදුරටත් විශේෂ කාරක සභාව වෙත විශ්වාසයක් නොමැති බැවින් ඊට සහභාගි නොවන බවය. හැකි ඉක්මණින් චෝදනා කිහිපයකට හෝ ඇය වැරදිකාරිය කරමින් කතානායකවරයාට තීන්දුවක් ලබා දෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම තැනකින් විශේෂ කාරක සභා සභාපතිවරයාට නියෝගයක් නිකුත් වී ඇති අතර ඒ අනුව එම තීරණය එළඹෙන සතියේ මුල කතානායකවරයා අතට පත් වනු ඇතැයි අපේක්ෂිතය. අද පස්වරු 2.30ට පමණ තේරීම් කාරක සභාවෙන් නැගිට ආ විපක්ෂයේ නියෝජිත මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් පවත්වා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

No comments:

Post a Comment