Wednesday 22 August 2012

විශ්වවිද්‍යාල වැසීම ආණ්ඩුවේ අවසානයයි - ජවිපෙ

ආණ්ඩුවේ සූදානම විශ්වවිද්‍යාල වහමින් තම ගමන යන්න නම් එම තීරණය ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන තීන්දුවක් විය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාපවසයි. ඔහු ඒ බව පැවසූවේ අද (22) පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස් පහත පළවේ. "මේ මොහොතවන විට ආණ්ඩුව රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ල වසා දමා තිබෙනවා. මේ වෙලාව ගත්තොත් විශ්වවිද්‍යාල වසා දැමීමට තරම් ප‍්‍රශ්නයක් රටේ මතුවෙලා නැහැ. විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙම බරපතල ප‍්‍රශ්නයක් නැති වෙලාවක තමයි ආණ්ඩුව මේ විදියට විශ්වවිද්‍යාල වසා දමන්නේ. උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහත්තයට පැවරී ඇති බලතල පාවිච්චි කරලා හිතුවක්කාරී ලෙස විශ්වවිද්‍යාල වසා දමා තිබෙනවා. විශ්වවිද්‍යාල වහන්න ආණ්ඩුවට තීන්දුවක් ගන්න මේ මොහොතේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු ගණනාවක් හේතුවෙලා තියෙනවා. එකක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් අගය ආණ්ඩුව වරද්දපු නිසා විශ්වවිද්‍යාලවලට ඇතුල්වීමට නොහැකිව තමන්ට සාධාරණය ඉල්ලා සිසුන් අරගලයක ඉන්නවා. ආණ්ඩුව ඒ වැරුද්ද නිවැරදි කළ යුතුව තිබෙනවා. අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු අධ්‍යාපනයට දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරන්න කියලා අරගලයක ඉන්නවා. දැන් ආණ්ඩුව කළ යුත්තේ එම ගැටළුවලට විසඳුම් ලබාදීමයි. එසේ නොකර ආණ්ඩුව මුග්ධ තීරණ ගනිමින් ඉන්නවා. විසඳුම් ලබාදෙනවා වෙනුවට විශ්වවිද්‍යාල වහලා දානවා. මේක හරියට බඩේ අමාරුව හැදුන කෙනෙකුට වැසිකිලියේ දොර වහලා දානවා වගේ වැඩක්. මේ ඉතා වැදගත් හදිසි ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට විශ්වවිද්‍යාල වසා දමා හරියන්නේ නැහැ. ආණ්ඩුව මේ විදියට මුග්ධ, තකතීරු තීරණ ගනිමින් අධ්‍යාපනය විනාශ කරමින් ඉන්නවා. පළමුවෙන්ම ආණ්ඩුවේ මේ මුග්ත තකතීරු තීරණ ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙලා දකින අතර මෙම තීරණයට විරෝධය එල්ල කරනවා. ඒ වගේම ආණ්ඩුවට කියා සිටිනවා වහාම විශ්වවිද්‍යාල විවෘත කරන්න කියලා. ඒ වගේම සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු වහාම විසඳන්න කියලා ආණ්ඩුවට බලකර සිටිනවා. නැතිනම් මෙම තීරණවලට, ප‍්‍රතිපත්තිවලට එරෙහිව දැඩි විරෝධතා කි‍්‍රයාමාර්ගවලට එළඹෙනවා. ආණ්ඩුව හදන්නේ විශ්වවිද්‍යාල වහමින් යන්න නම් එම තීරණය ආණ්ඩුවේ අවසානය සනිටුහන් කරන තීන්දුවක් විය හැකියි කියලා අපි කියනවා. විශේෂයෙන්ම ආණ්ඩුව මේ වනවිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලු ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ ප‍්‍රතිපත්තියේ වරදින්. ආණ්ඩුව අධ්‍යාපනයට මුදල් වෙන්න කරන්නේ නැති නිසා, අධ්‍යාපනයේ සම අයිතීන් හදන්න බැරිව, නිදහස් අධ්‍යාපනය රකින්න බැරිව ගම්බද පාසල් වැහෙනවා. ඒ නිසාම නාගරික පාසල්වල තදබදයක් ඇතිවෙලා. ඒ වෙනුවට සපිරි පාසල් කියලා ව්‍යාපෘතියක් හදලා යම් හෝ දියුණුවක් තිබුණ පාසල්වලත් ප‍්‍රාථමික අංශය වහලා සිසුන් එලියට ඇදලා දානවා. එම කි‍්‍රයාවලියෙන් නැති අවුලක් මතුකරලා තියෙනවා. දෙමාපියන් විශාල අපහසුතාවයකට පත්කරලා තියෙනවා. ආණ්ඩුව ප‍්‍රශ්න පත‍්‍ර වැරුද්දුවා. මේ අවුරුද්දෙත් ප‍්‍රශ්න පත‍්‍ර වැරුද්දුවා. ඊට පස්සේ ආණ්ඩුව කියනවා 'ඒක ඒතරම් ගණන් ගත යුතු නැහැ' කියලා. මුලින් ගණිතය ප‍්‍රශ්න පත‍්‍රය වැරැද්දුවා. ඒ නිසා එම ප‍්‍රශ්නයට ලකුණු 1.5ක් දෙනවා කිව්වා. ඒක අමුතු ප‍්‍රතිපත්තියක්. උත්තර බැලීමේ දී ලකුණු වරද්දලා සිසුන් අධිකරණයට ගියා. අනෙක් පැත්තෙන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් යනවා. ඒ ආකාරයෙන් ආණ්ඩුව අධ්‍යාපනය ක්ෂේත‍්‍රය තුළ දැවැන්ත අවුලක් නිර්මාණය කරමින් යනවා. මේ ආකාරයෙන් ආණ්ඩුව අධ්‍යාපනයේ අවුල් නිර්මාණය කරමින් යන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව ප‍්‍රතිපත්තිය වන්නේ ආණ්ඩුවේ වියදම, මැදිහත්වීම නතර කිරීමටයි. එය දෙමව්පියන් මත පැටවීමටයි. එක්තරා සුපිරි පැලැන්තියකට අධ්‍යාපනය අවස්ථා උදාකර දෙමින් දුප්පත් පවුල්වල දුවා දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ කොන්ත‍්‍රාත්තුව තමයි වත්මන් ඇමතිලා දෙන්නට බාරදීලා. තියෙන්නේ. ඇත්තටම ගත්තොත් මේ දෙන්නා අධ්‍යාපනය බාරදෙන්න තරම් සුදුසු අය නෙවෙයි. එක්කෙනෙක් අධිකරණයට අපහාස කරලා හිරේ ගිය කෙනෙක්. අනෙක් කෙනා පහුගිය කාලේ ටියුෂන් කඩයක් දාගෙන හිටපු කෙනෙක්. ආණ්ඩුව හිතාමතා අධ්‍යාපනය විනාශ කරන්න තමයි මේ දෙන්නට කොන්ත‍්‍රාත්තුව බාරදීලා තියෙන්නේ. ඒක හරියටම කරනවා. එයින් මතුවෙන ගැටලු තමයි දැන් අපි හමුවේ මතුවෙලා තියෙන්නේ. ඉතිං ආණ්ඩුව කළ යුත්තේ ඒ ප‍්‍රශ්නවලට ඉවසීමෙන්, සංයමයෙන් පිළිතුරු ලබාදෙන එක. ඒ වෙනුවට ගමේ පාසල් වහමින් යනවා වගේ විශ්වවිද්‍යාලත් වහලා දාලා ප‍්‍රශ්නෙන් බෙරිලා ඉන්න හදනවා. පහුගිය කාලේ විශ්වවිද්‍යාල වසාදැමීමේදී අනුගමනය කළ කි‍්‍රයාවලියක් තිබුණා. එයට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම, උපකලපතිවරු සම්බන්ධ වෙලා මෙයට මැදිහත්වුණා. නමුත් දැන් සෘජුවම ඇමතිවරයා මැදිහත්වෙලා පනතේ වගන්ති පාවිච්චි කරලා විශ්වවිද්‍යාල වහලා දැම්මා. මේක බරපතලයි. මේ තීරණය පිටුපස්සේ තියෙන්නේ ජනතාවගේ, සිසුන්ගේ, අචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට සවන් දෙන්න ආණ්ඩුව සූදානම් නැහැ කියන කාරණයයි. පහුගිය දිනවල ආණ්ඩුව පම්පෝරි ගහමින් හිටියා අධ්‍යාපනය ගැන. තමන්ගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුල් කළා ලංකාව දැනුමේ කේන්ද්‍රය කරනවා කියලා. ගමේ පාසල වහනවා. විශ්වවිද්‍යාල වහනවා. අධ්‍යාපනයට වෙන්කරන මුදල් අඩු කරනවා. ළමයින් පාසල්වලින් එලියට ඇදලා දානවා. ආණ්ඩුව එහෙමද දැනුමේ කේන්ද්‍රය හදන්නේ. ඒ වගේම ආණ්ඩුව කිව්වා ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය කරනවා කියලා. ඊට පස්සේ ලයිට් කපනවා. බාල ඉන්ධන ගෙන්වනවා. කෙසේ වෙතත් ලංකාව දැන් මෝඩයින්ගේ කේන්ද්‍රය බවට පත්වෙලා. ආණ්ඩුවට මෙම ප‍්‍රශ්න විසඳන්න කිසිදු උවමනාවක් නැහැ. අධ්‍යාපනයට මුදල් වෙන්කරන්න අවශ්‍ය නැහැ. මේ පැනනැගී තිබෙන සමහර ප‍්‍රශ්න විසඳන්න ආණ්ඩුවට මුදල් වෙන්කරන්න අවශ්‍ය නැහැ. ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව විශ්වවිද්‍යාල පාලනය කරන්නේ හිරගෙවල්, හමුදා කඳවුරු පාලනය කරනවා වගේ. ඒ විදියට සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාලනය කරන්න ආණ්ඩුවට බැහැ. මේ වනවිට ළමුන් 6,500ක් අසාධාරණයට ලක්වෙලා. පළමු වතාවේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්කම තිබුණ දරුවට දෙවැනි වතාවේ විශ්වවිද්‍යාල ප‍්‍රවේශය අහිමි වෙලා. සපිරි පාසල් ව්‍යාපෘතියත් එහෙමයි. එයිනුත් ආණ්ඩුව කරන්නේ මහ අවුලක්. ගම්බද දරුවන් අධ්‍යාපනයෙන් ඉවත් කරනවා. 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට එනවිට ආණ්ඩුව දළජාතික නිෂ්පාදිතයෙන් 2.9%ක් අධ්‍යාපනයට වෙන්කළා. එය මේ වනවිට 1.9%ක් දක්වා අඩුකරලා තියෙනවා. මෙය ඉතාම පහළ අගයක්. මේ වගේ පොඩි ගාණක් වෙන්කරලා අධ්‍යාපනය ගොඩනගන්න බැහැ. අධ්‍යාපනයට වෙන්කරන මුදල් වියදම් කියලා සලකන්න බැහැ. එය ආයෝජනයක්. එම මුදල් භාවිතා කරලා උගතුන් බුද්ධිමතුන්, බිහිකරනවා. ඔවුන් රටට ආදායම උපයන කොටසක් බවට පත්වෙනවා. දකුණු ආසියානු කලාපය ගත්තාම ලංකාව තමයි අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රට. එය ඉන්දියාවේ දළදේශීය නිෂ්පාදිතයෙන් 3.2%යි. බංගලාදේශයේ 2.4%යි. පකිස්ථානයේ 2.9%යි. නේපාලයේ 4.7%යි. මාලදිවයිනේ 8.7%යි. ආණ්ඩුවේ පම්පෝරිය නම් අහස උසට. හොඳම දේ දරුවන්ට, සාක්ෂරතාවය වැඩි රට කියලා. වර්තමානයේ සාක්ෂරතාවයට බලපාවේ මහින්ද රාජපක්ෂ කරපු දේවල් නොවෙයි. මීට අවුරුදු 10-15කට කලින් කරපු දේවල්. මේ ප‍්‍රශ්නවලට මූලික හේතුව අධ්‍යාපනයට වෙන්කරන මුදල් අඩුකරන නිසයි. මුදල් වෙන්කරානම් සිසුන්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ, පාසල් වැහෙන අර්බුදයට විසඳුම් හොයන්න පුළුවන්. ආණ්ඩුවට ඕනෑකර තිබෙන්නේ රටට උගතුන් බුද්ධිමතුන් නෙවෙයි. සුදු කෙලින, බූරු ගහන මිනිස්සු මගින් මුදල් හම්බකරන්නයි උත්සාහ දරමින් ඉන්නේ. මේ ආකාරයට අධ්‍යාපනය කප්පාදු කරමින් යන්නේ 1980 කාලයේ ඉඳලා. දවල පත‍්‍රිකාව ගෙනාව කාලේ ඉඳලා. මීට කලිනුත් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් ගොඩ නගන්න ගිහින් ජනතාවගේ විරෝදය නිසා එය අකුලා ගත්තා. චන්ද්‍රිකා මහත්මියගේ කාලේ තාරා-හැරල්ඞ් ගිවිසුම හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. අධිරාජ්‍යවාදී ආයතනවල උවමනාවට මේ දේ සිදුකරමින් යනවා. ඒ වැඩපිළිවෙල තමයි මේ විවිධ ආකාරයෙන් කි‍්‍රයාවට නගමින් යන්නේ. අවසානයේදී ලංකාවේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනවා. සුපිරි පැලැන්තියට පමණක් අධ්‍යාපනයේ අවස්ථා හදලා විශාල බේදයක්, විශාල පරතරයක් හදන්න ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නවා. ආණ්ඩුව මේ ආකාරයෙන් ගන්න තීන්දු තීරණ නිසා අධ්‍යාපනයට සිදුවන විනාශයේ ප‍්‍රතිඵල එන්නේ ඉදිරියට. ඒ නිසා අධ්‍යාපනය විනාශ වෙන්න කලින් ඒවා කලින් හඳුනාගෙන එම තීනිදු තීරණ පරාජය කළ යුතුව තිබෙනවා. ජනතාව සාධාරණ අරගලවලට සහාය දිය යුතුව තිබෙනවා. ආණ්ඩුව ගන්නා මෙම තකතීරු තීන්දු පරාජයට පත්කරලා අධ්‍යාපනය බේරාගත යුතුව තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙම අරගල යටපත් කරලා මර්දනය කරන්න. පළමු වතාවේ උත්සාහ කළා මෙම සටන් හුදකලා කරන්න. නමුත් ජනතාව මෙම සාධාරණ අරගලවලට සහාය දෙන නිසා විශ්වවිද්‍යාල වසා දමලා සිසුන්ගේ සහාය ලැබෙන එක නවත්වන්න උත්සාහ කරනවා. ආණ්ඩුව මේ සම්බන්යෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එක් තැනක සඳහන් කරලා තියෙනවා. මෙම අරගල පිටුපස අදිසි හස්තයක් තියෙනවා කියලා. අපි ආණ්ඩුවට කියනවා අධ්‍යාපනය රැුකගන්න කරන අරගල පිටුපස අදිසි හස්තයක් නැහැ. නමුත් අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුව පිටුපස්සේ ඇමතිවරු පිටුපස්සේ අයි.එම්.එෆ් එක ලෝක බැංකුව වගේම ජාවාරම්කාරයොත් ඉන්න පුළුවන්කම තියෙනවා කියලා. ආණ්ඩුව කරන්නේ අරගල පැනනගින හැම මොහොතකම කපටි විදියට ප‍්‍රශ්නයෙන් පලා යන එකයි. බොරු පොරොන්දු දීලා අරගලය නවත්වන්න උත්සාහ කරනවා. ඊටපස්සේ සියලූ එකඟතාවයන් කඩලා දානවා. විශ්වවිද්‍යාල අනධ්‍යන ප‍්‍රශ්නයේදිත් ආණ්ඩුව ඒ කපටිකම කළා. ඒ වගේම විදුලි සේවකයින්ගේ අරගලයේදිත් කළේ ඒ ටිකමයි. දැන් ආණ්ඩුව කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නය නිසා සිසුන්ට වන පාඩුව මකාගන්නත් ආණ්ඩුව ඉසෙඞ් ලකුණ වරද්දපු නිසා විශ්වවිද්‍යාලවලට ළමුන් බඳවාගැනීමේ අර්බුදයත් යටපත් කර දමන්න විශ්වවිද්‍යාල වහලා ඇමතිලා දෙන්නා පැත්තකට වෙන එකයි. ඒ නිසා අපි ආණ්ඩුවට නැවත වරක් කියා සිටින්නේ සිසුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාධාරණ අරගලවලට, ඉල්ලීම්වලට සවන්දීලා සංයමයකින් යුතුව විසඳුම් ලබාදෙන්න කියලා. ඒ වගේම වසාදමා තිබෙන විශ්වවිද්‍යාල සියල්ල විවෘත කරන්න කියලා." එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති මහතාද සහභාගීවී සිටියේය

No comments:

Post a Comment