Wednesday 29 August 2012
කොරියානු රැකියා මුවාවෙන් තරුණයින් ගසා කෑම හෙළා දකිමු ! - SYU
කොරියානු රැකියා මුවාවෙන් තරුණ තරුණියන් ගසාකෑම හෙළා දකින බව සඳහන්කරමින් සමාජවාදී තරුණ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංගමයේ ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ මධ්යමකාර සභික බිමල් රත්නායක මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනය පහත පළවේ.
"වත්මන් ලාංකේය තරුණ පරපුරේ විරැකියා අර්බුදය විසඳීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති රාජපක්ෂ ආණ්ඩුව කොරියානු රජය මගින් වසරක් පාසා පිරිනමන රැකියා ප්‍රමාණය පෙන්වමින් ලාංකේය රැකියා විරහිත තරුණයින් ගසා කෑමේ නින්දිත වැඩපිළිවෙළ සමාජවාදී තරුණ සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. රටතුළ පවතින උග්‍ර විරැකියා අර්බුදය නිසා පසුගිය වසරවල මෙන්ම මෙවරද විශාල තරුණ පිරිසක් කොරියානු රැකියා සඳහා ඉල්ලුම් කර තිබේ. ආණ්ඩුව ඉදිරිපත්කරන සංඛ්යාලේඛනවලටම අනුව 2011 වසරේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා 45,000ක් පමණ අයදුම් කර ඉන් 9998ක් සමත් වී ඇත. නමුදු මේවන විට රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඔවුන්ගෙන් 2460ක් පමණි. මෙයින් පහැදිලි වන්නේ රැකියා ඉල්ලුම් කරුවන්ගෙන් 5% කට ආසන්න සංඛ්‍යාවක් පමණක් රැකියාවලට යවා ආණ්ඩුව වක්‍රාකාරව රැකියා විරහිත තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කරන බවයි.
මෙවර විදෙස් ගමන් බලපත්‍රය අනිවාර්ය කිරීම නිසා අයදුම්කරුවන් සංඛ්‍යාව 35000 දක්වා අඩු වූ නමුදු එක් අයකු සඳහා අයදුම්පත්‍ර ගාස්තුව රු. 3250/=ක් දක්වා ඉහළ දැමීමෙනුත්, විදේශ ගමන් බලපත්‍රය හදිසි එක්දින සේවාවෙන් එය සකස් කිරීමට රු. 8000/=ක් අයකිරීමෙනුත් ආණ්ඩුව කූට ලෙස විශාල ආදායමක් උපයාගෙන තිබේ. මෙය තනිකරම රැකියාවක් නොමැතිව අසරණව සිටින තරුණයින්ගේ පොකට් එකෙන් පවා ගසා කෑමට කටයුතු කිරීමක් බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුට වැටහී යා යුතුය. සැබවින්ම වගකිවයුතු ආණ්ඩුවක් නම් කලයුත්තේ මෙම තරුණයින් සඳහා අඩුම තරමින් දීමනාවක්ද ලබාදී අවශ්‍ය පහසුකම් සලසා දීමය. එපමණක් ද නොව රැකියා ලබාදීමේදී අමාත්‍යවරයාගේ ලැයිස්තුවලට ලබාදීම, විභාග ප්‍රශ්න පත්‍ර මුදලට විකිණීම, විභාග ප්‍රතිඵල වංචා කිරීම හා රුපියල් ලක්ෂ 3, 4 ට රැකියා විකිණීම යන දුෂණ අක්‍රමිකතා බහුලව සිදුවෙමින් පවතී. මීට අමතරව කොරියානු භාෂා පන්තිද රට පුරා ඇරඹී තිබෙන අතර එකී පන්තිවලින්ද යළිත් වරක් මෙම තරුණයින්ව සූරාකෑමට ලක්වේ.
තවද මෙහිදී සඳහන් කළයුතු කරුණක් වනුයේ, මෙම කොරියානු රැකියාවලින් වැඩි ප්‍රමාණයක් ඩී තුනේ රැකියා ලෙස වර්ගකළ රැකියා වීමය. එනම් කිලිටි, අනතුරුදායක හා අමාරු (durty, danaerous, and dificult) රැකියාවන්ය. කමක් හො ජීවනෝපායක අවශ්‍යතාවය නිසා දිවි පරදුවට තබමින් මෙවැනි අයහපත් මට්ටමේ රැකියා සඳහා පවා පොරකෑමට සිදුව තිබීම මුළු මහත් රටේම ඛේදවාචකයකි. තරුණ්‍යයට හෙටක් හදන බවට පම්පෝරි ගසමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව අද ලාංකේය තරුණ පරපුරට උරුම කර ඇත්තේ එවන් ඉරණමකි. එහෙත් රාජපක්ෂ පරම්පරාවේ අනාගතය සුරක්ෂිත කරගැනීමට නම් බොහෝ ව්‍යාපෘති එළිපිටම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන බව මුළු රටම දනී.
එමනිසා බංකොලොත් බෙලහීන ආණ්ඩුව තරුණ පරපුරේ රැකියාවක් පිළිබඳ වන අහිංසක බලාපොරොත්තුව මගින් ඔවුන් කොල්ලකා ගැනීමේ වැඩපිළිවෙළ ඉතාම දැඩි පිළිකුලෙන් හෙළා දකිමු. එසේම රැකියා ඉල්ලූම් කරන තරුණ තරුණියන්ගේ අසාධාරණ ලෙස මුදල් ලබාගන්නා වංචනික වැඩපිළිවෙළ වහා නතර කරන ලෙස රජයට බලකර සිටිමු. තවද ”හෙටක් සහිත රටක් දියව්!” තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය ගෙනයන අඛණ්ඩ උද්ඝෝෂණය ශක්තිමත්ව පෙරට ගෙන යාමට ලාංකේය ප්රගතිශීලී තරුණ පරපුර සමග අත්වැල් බැඳගන්නා ලෙසද සියලු රැකියා විරහිත තරුණ කොටස්වලින් ඉල්ලා සිටිමු."
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment