Saturday 8 September 2012

පළාත් තුනේ ඡන්ද ප්‍රකාශය 50% ඉක්මවයි

පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ. අප කළ විමසීමකදී රත්නපුර , කෑගල්ල, පොලොන්නරුව සහ අනුරාධපුර තේරිම්භාර නිළධාරීවරුන් පැවසුවේ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බවයි. උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සදහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු 4 ට අවසන් වුණා. අනුරාධපුර තේරිම්භාර නිළධාරී මහින්ද සෙනෙවිරත්න මහතා පැවසුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්ක‍යේ සමස්තයක් වශයෙන් ගත් කළ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60 ක් 65 ත් අතර ප්‍රතිශතයක් ගන්නා බව දිස්ත්‍රික්ක තේරිම්භාර නිලධාරී නිමල් අබේසිරි මහතා සදහන් කළේය. කෑගල්ල දිස්ත්‍රික්කයේද පාසල් තුනක් යොදා ගනිමින් ගණන් කිරිමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර දිස්ත්‍රික්කයේ 55% ක පමණ ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී සුනිල් කන්නන්ගර මහතා පැවසීය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 60% කට ආසන්න පිරිසක් ඡණ්දය භාවිත කර ඇති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී මේජර් ජනරාල් ටි. ටි. ආර්. ද සිල්වා මහතා සඳහන් කළේය. ඒ අතර මඩකලපුව තේරිම්භාර නිලධාරී පි.එස්.එම් චාල්ස් මහත්මිය පැවසුවේ සමස්තයක් ලෙස ගත් කළ දිස්ත්‍රික්කයේ 60% කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි. ඡන්ද ගණන් කිරිමේ කටයුතු මඩකලපුව ස්ථාන 4 කදී සිදුකෙරෙන බව චාල්ස් මහත්මිය සඳහන් කළාය. අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලයේදී සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ මධ්‍යම රාත්‍රියට පෙර ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි. මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේ මධ්‍යස්ථාන 55 කදී තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුකෙරෙන බවයි. සිදුවීම් කිහිපයක් හැරුණු විට මෙවර මැතිවරණය ඉතා සාමකාමීව පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අතර ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment