Saturday 27 October 2012

ඉස්ලාම් බැතිමතුන්ට ජවිපෙන් සුභපැතුම්

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක සේමවංශ අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව එවා ඇති හජ්ජි උත්සව දින පණීවිඩය පහත පළවේ. "ඉස්ලාම් භක්තිකයින් විසින් මහත් බැතියෙන් සමරනු ලබන හජ්ජි උත්සව දිනය අදට (27) යෙදී තිබේ. ඔවුහු අද ඒ වෙනුවෙන් ආගමික උත්සව පවත්වති. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් විසින් ඊබ‍්‍රාහිම් නබිතුමාගේ භක්තිය පරීක්‍ෂා කරන ලද දිනය ලෙසද අද දිනය සැලකෙන අතර අසමසම පරිත්‍යාගයක් සිදු කිරීමට නබිතුමන් විසින් තීරණය කරන ලද්දේ අද දිනයේදී බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි. හජ්ජි දිනයේදී එම පරිත්‍යාගයන් සිහිපත් කරමින් ඉස්ලාම් බැතිමත්හු සිය දිවි පෙවෙත හැඩගස්වා ගැනීමට අදිටන් කර ගනිති. සාමූහිකත්වය, අන්‍යෝන්‍ය සහයෝගය, සහෝදරත්වය ආදී ගුණාංග ගණනාවක් සමාජය තුළ තහවුරු කෙරෙන උත්සවයක් ලෙස හජ්ජි උත්සවය හැඳින්විය හැකිය. ඉහත කී ගුණාංග වැඩි වැඩියෙන් ඉල්ලා සිටින වත්මන් සමාජයේ මුස්ලිම් ජනතාවටද මෙන්ම අන් සියලු ජනතාවට එය ආදර්ශයකි. හජ්ජි උත්සවය පවත්වන ශ‍්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණ සිය උණුසුම් සුභාශිංසන පිරිනමයි."

No comments:

Post a Comment