Friday 30 November 2012

පාර්ලි‍මේන්තුව කොටස් වෙළඳ පොළ වගෙයි

පාර්ලිමේන්තුව කොටස් වෙළඳ පොළ හා සමාන බවත් ඕනෑම ගාණකට විකිණෙන මන්තී‍්‍රවරු එහි සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙරට පාර්ලිමේන්තුවේ සිදුවන්නේ ඉතා විහිළු සහගත දේවල් බවත් ජනතා ඡන්දයෙන් පත් වු නියෝජිතයින් එහි සිටින කරන කියන දෑ ගැන ජනතාවගේ අවධානය දැඩි ලෙස යොමුවිය යුතු බවත් ඔහු පෙන්වාදෙයි. අද‍ (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. ආණ්ඩුව විසින් අගවිනිසුරුවරියට ගෙනා දෝෂාභියෝග යෝජනාව දිනෙන් දින ගැටලූ සහගත තත්වයකට පත්වෙමින් තිබෙනවා. ඊයේ (29) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් මෙම තත්ත්වය තවත් සංකීර්ණ වෙමින් තිබෙනවා. මුලින්ම ගැටුම ඇතිවුණේ විධායකය සහ අධිකරණය අතරයි. මෙම ගැටුම දැන් පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක් බවට පත්වෙලා. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ප‍්‍රශ්නයක්. පෞද්ගලික තරහ පිරිමහ ගැනීමට තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් පාවිච්චි කරන කි‍්‍රයාවලියක් නිසා මුළු රටම අර්බුදයකට ඇද වැටෙමින් තිබෙනවා. කතානායකවරයා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජ.වි.පෙ. ස්ථාවරය ප‍්‍රකාශ කළ යුතු වන්නේ එම නිසයි. ආණ්ඩු පාර්ශවය කි‍්‍රයා කළේ අගවිනිසුරුවරිය ඉවත්කර ආණ්ඩුවට ජයග‍්‍රහණය අත්පත්කර ගැනිම සඳහායි. නීතිය යුක්තිය සාධාරණත්වය සැලකුවේ නැහැ. පසුගිය 22 වැනිදා අධිකරණය විසින් පාර්ලිමේන්තුවට නිර්දේශයක් ඉදිරිපත් කළා ආණ්ඩුව විසින් පත්කරන ලද තේරීම්කාරක සභාව සහ ඊට සම්බන්ධවන පුද්ගලයින් පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බලා. එම පෙත්සම් විභාග කර අර්ථ කථනයක් ලබාදෙන තුරු පාර්ලිමේන්තු කාරක සභාවේ කි‍්‍රයාවලිය නතර කිරීම සුදුසු යැයි අධිකරණය විසින් ඉල්ලා සිටියා. මෙම ඉල්ලීම නොසලකා කාරක සභාව විසින් වැඩකටයුතු ආරම්භ කළා. ඒ අතරින් සිවිල් සංවිධාන, නීතිඥ සංගම්, පොදු ජනතාව නඩු ගණනාවක් ඉදිරිපත් කළා. අධිකරණය එම නඩු විභාග කළයුතුයි. එනිසා මන්තී‍්‍රවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා. ඒ අවස්ථාවේදී පැනයක් මතුවුණා මන්තී‍්‍රවරුන් අධිකරණයට උත්තර බැඳිය යුතුද කියලා. එම ප‍්‍රශ්නයේදී කතානායකවරයා නිර්දේශ කළා පාර්ලිමේන්තුව අධිකරණයේ නියෝග පිළිපැදිය යුතු නැහැ කියලා. අධිකරණයේ එම නියෝග නොසලකා කටයුතු කිරීමට පටන් ගත්තා. එම මොහොතේ තමයි පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක් හට ගත්තේ. මුල් අවස්ථාවේදී දෝෂාභියෝගය ඉදිරිපත් වූයේ පුද්ගලයෙකු එල්ල කර ගනිමින්. නමුත් දැන් එය මුළු අධිකරණ පද්ධතියේම ගැටුමක් බවට පත්වෙලා. ධනපති ආණ්ඩු විසින් තමන්ගේ බලය පවත්වා ගැනීමට ගොඩනගා ගත් ආයතන ආණ්ඩුව විසින්ම පවසන ලද ස්වාධීන උත්තරීතර අධිකරණය නීතියට අවනත නැති බව ඔවුන්ම පවසනවා. එම ධනපති ක‍්‍රමය පවත්වා ගැනීමට නිර්මාණය කරගත් ජනාධිපති ක‍්‍රමයත් අධිකරණයත් අතර ගැටුමක් ඇතිවෙලා. පවුල් වුවමනාව වෙනුවෙන් මුළු රටම ඛේදවාචකයකට ඇදගෙන යමින් තිබෙනවා. අත්තනෝමතික විධායක බලය අධිකරණය යටපත්කරගෙන ඒකාධිපති ගමනක් යන්න උත්සාහ දරමින් සිටිනවා. අනාගතයේ ඇතිවීමට නියමිත මහා ඛේදවාචකයක පෙරමග ලකුණු පෙනෙමින් තිබෙනවා. දැන් අලූතින් ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. අධිකරණයද උත්තරීතර, පාර්ලිමේන්තුවද උත්තරීතර කියලා. ජනතා විමුක්ති පෙරමුණ එම කිසිදු ආයතනයක් උත්තරීතර යැයි සලකන්නේ නැහැ. නමුත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කිරීමට එම ආයතන යම් බලපෑමක් සිදුකරමින් තිබෙනවා. මෙම ආයතන අතර සංවරණය සහ තුලනය තිබිය යුතුයි. නමුත් දැන් සියල්ල බිඳ දමමින් පවුල් බලය ආරක්‍ෂා කිරීමට කටයුතු කරමින් ඉන්නවා. සාමාන්‍යයෙන් අධිකරණයේ නඩුවක් පැවරූ පසු ඒවා විභාග කිරීම සඳහා විත්තිකරුවන්ට නොතීසි යවනවා. එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කියනවා අපි උත්තරීතරයි අපට එම නියෝග අදාළ නැහැ කියලා. ව්‍යවස්ථාවෙන් අධිකරණයට දුන් ව්‍යවස්ථානුකූල බලයට පාර්ලිමේන්තුව විසින් පයින් ගහනවා. අපි විනිශ්චයක් දෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් කියන විදියට උත්තරීතරයි කියලා. පාර්ලිමේන්තුව උත්තරීතර වීමට නම් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා විය යුතුයි. එම පරමාධිපත්‍ය බලය විකෘති නොවී තිබිය යුතුයි. අපි අහනවා පාර්ලිමේන්තුවෙන්, කතානායකවරයාගෙන් 2010 මහ මැතිවරණයේ ජනතාවගේ කැමැත්තද දැන් පාර්ලිමේන්තුවේ පවතින්නේ කියලා. 2010දී බහුතර බලයක් ලබාදුන්නා මිස 2/3 බලයක් ආණ්ඩුවට ලැබුණේ නැහැ. විපක්‍ෂයේ මන්තී‍්‍රවරු මුදලට ගෙන ජනමතය විකෘති කරලා 2/3 බලයක් ගොඩනගා ගත්තා. මෙම පාර්ලිමේන්තුව කොටස් වෙළඳපොල වගේ. ඕනෑම ගාණකට විකිණෙන මන්තී‍්‍රවරු ඉන්නවා. මෙම පාර්ලිමේන්තුවේ සිදුවන්නේ ඉතා විහිළු සහගත දේවල්. පසුගියදා සිනමා නිළි මාලිනී ෆොන්සේකා මන්තී‍්‍රවරිය ඉල්ලා අස්වුණා. එම පුරප්පාඩුවට නැවත පත්වුණේ මාලිනි ෆොන්සේකා මහත්මියමයි. මාවිල් ආරු ගොවීන්ගේ වන්දි මුදල් හොරකම් කරපු අයත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කෝටි ගණන් මුදල් හම්බ කරලා එම මුදල් උපයා ගත් ආකාරය කියාගන්න බැරි මන්තී‍්‍රවරුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. තමන්ට ලැබුණු නිල රථවල ගංජා ප‍්‍රවාහනය කරන මන්තී‍්‍රවරුත් ඉන්නවා. ජනතාවගේ පරමාධිපත්‍ය නිවැරදිව පිළිඹිබු වෙන්න ඕන පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්න නම්. දැන් පවතින 2/3 බලය කියන්නේ බොරුවක්, විකෘතියක් පමණයි. ජනාධිපති ධුරය සඳහා පෙනී සිටීමට හැකි වාර ගණන සීමාව ඉවත් කරමින් 18 වැනි සංශෝධනය සම්මත කර ගත්තා. එවැනි හැසිරීමක් ඇති පාර්ලිමේන්තුවක් උත්තරීතරයි කියලා කියන්නේ කොහොමද? ජනාධිපතිවරයා පවුල්වාදය ගොඩනගමින් ඒකාධිපතිත්වයක් කරා ගමන්කරමින් සිටිනවා. එම කරුණ අපි නැවත නැවතත් කියනවා එහි අනතුරක් තිබෙන නිසා. පාර්ලිමෙන්තුව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ සාක්කුවේ. අධිකරණයත් එම සාක්කුවටම දාගන්න ගියා. එතැනදී තමයි මෙම ගැටුම මතුවුණේ. ආණ්ඩුව හිතුවා අගවිනිසුරුවරිය ඉල්ලා අස්වෙයි කියලා නමුත් එසේ සිදු නොවුනු නිසා මෙම ගැටුම වර්ධනය වුණා. ඒකාධිපති ගමනට බාධාවන් ඩොසර් කරන පාලනයක් මෙම ආණ්ඩුව ගෙනියනවා. ජනතාවට ඇහුම්කන් දෙන පාලයක් නෙවෙයි. මේ වන විට මහානායක හිමිවරුන් දෙවන වතාවටත් දෝෂාභියෝග යෝජනාව ඉවත්කරගන්නා ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. පූජ්‍ය පක්‍ෂයේ නායකයින් නීතිඥ සංගම්වල ප‍්‍රධානීන්, සිවිල් සංවිධාන, දේශපාලන පක්‍ෂ මෙන්ම ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ මෙම කි‍්‍රයාවලියට විරෝධය දක්වමින් තිබෙනවා. මෙම දෝෂාභියෝග යෝජනාව රාජපක්‍ෂ පවුල සහ එයට කඩේ යන කණ්ඩායමකගේ වුවමනාවක් පමණයි. ජත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා තිබෙනවා මෙම දෝෂාභියෝගය ඉවත්කරගන්නා ලෙස. පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගම්, විනිසුරුවරුන්ගේ සංගම් ඉල්ලා සිටියා මෙම යෝජනාව ඉවත්කර ගන්නා ලෙස. මේ හැමෝම දන්නවා මෙය පළිගැනීම සඳහා අධිකරණය තමන්ට යටත්කර ගැනීම සඳහා සිදුකරන කි‍්‍රයාවලියක් බව. අහස, මුහුද, ගොඩබිම තමන්ට අත්පත්කරගැනීම සඳහා රාජපක්‍ෂවරු කි‍්‍රයාකරමින් ඉන්නවා. පවුලේ බලය ගොඩ නගාගන්න චිරාත් කාලයක් බලයේ රැඳී ඉන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් මාධ්‍යවලට බලපෑම් කළා. දැන් අධිකරණයට බලපෑම් කරමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි උත්සාහ කරන්නේ පුද්ගලයෙකු ආරක්‍ෂා කිරීමට නොවේ. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කිරීම සඳහා. මේ මොහොතේ කතානායකවරයාගෙන්, පාර්ලිමේන්තුවෙන් පැනයක් ඇසීමට කැමතියි. මීට පසු පාර්ලිමේන්තුවට අධිකරණය විසින් ලබාදෙන උපදෙස්, අර්ථකථනයන් පිළිගන්නේ නැද්ද? අපේ රටේ ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේ වගකීම ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි. එම අර්ථ දැක්වීම් පාර්ලිමේන්තුව පිළිගත යුතුයි. මෙය තමයි බරපතළ කාරණය බවට පත්වෙලා තිබෙන්නේ. ආණ්ඩුවේ ස්ථාවරය එය පිළිනොගැනීම නම් ජනතාවට පිළිසරණක් නැහැ. පාර්ලිමේන්තුවේදී ජනතා විරෝධී පනත් සම්මත කරගත හැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයට එම පනත සම්බන්ධයෙන් අර්ථකතනයක් ලබාදෙන්න බැරිවෙනවා. මෙම ව්‍යවස්ථාවත් හොඳ එකක් ලෙස අපි සලකන්නේ නැහැ. නමුත් ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කරන තුරු මෙය ආරක්‍ෂා විය යුතුයි. කථානායකවරයා විසින් ලබාදුන් තීරණය බරපතළ ප‍්‍රශ්නයක් බවට පත්වෙන්නේ ඒ නිසයි. දිවි නැගුම පනත විභාග වන අවස්ථාවේදී කථානායකවරයා විසින් කියා සිටියා අධිකරණය පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති නොවන ලෙස කි‍්‍රයා කළ යුතුයි කියලා. නමුත් දැන් කතානායකවරයාට එය අමතක වෙලා. මේ වනවිටත් අපේ රට බරපතළ ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අධිරාජ්‍යවාදීන්ට බලපෑම් කිරීමට මෙම ප‍්‍රශ්නය මග පාදමින් තිබෙනවා. මානව හිමිකම් කොමිසමෙන් බලපෑම් ආවා. තව දුරටත් නව නිර්දේශ, වාර්තා හැදෙමින් තිබෙනවා. ඇත්ත අධිරාජ්‍ය විරොධී ආණ්ඩුවක් නම් එලෙස කි‍්‍රයාකරන්නේ නැහැ. පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉදිරියේ ප‍්‍රශ්නවලට මුහුණ දීමට අපේ රටට සිදුවෙනවා. ලංකාවේ තත්ත්වය බිඳවැටෙමින් තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝණය කිරීම නිසා අධිරාජ්‍යවාදයට වාසි සැලෙසෙමින් තිබෙනවා. ආණ්ඩුවේ මෝඩ මුග්ධ කි‍්‍රයා නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රට බරපතළ තත්වයකට පත්ව තිබෙනවා. මීට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටත් ඉන් පිටතත් අරගලයක් තිබෙනවා. ජනතාව එකතු කරගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා අරගලයක් කළ යුතුව තිබෙනවා. අපේ රටේ ඇත්ත බලය ජනතාව සතුයි. අපේ රටේ ජනතාව 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුව පාරේදී පරාජය කළා. මේ මොහොතේ විපක්‍ෂ නායකයාගේ හැසිරීම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග ගන්නවා වෙනුවට ආණ්ඩුවට වාසි සහගතවන කි‍්‍රයාමාර්ග ගනිමින් ඉන්නවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව විපක්‍ෂ නායකවරයා විසින් ආණ්ඩුවේ වුවමනාව ඉටුකරමින් ඉන්නවා. හරියට ඔරුවයි, කොල්ලෑවයි වගේ. දෙකම ගමන් කරමින් සිටින්නේ එකම දිශාවකටයි. දැන් මතුවෙලා තිබෙන ප‍්‍රශ්නය වන උත්තරීතර අධිකරණයද, පාර්ලිමේන්තුවද යන්නත් කිකිළි බිත්තරේ තර්කය වගේ. එම කිකිළි බිත්තරේ තර්කය පැත්තකට දමලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් අහෝසිකරන ආණ්ඩුවට විරුද්ධව අරගල කළ යුතුයි. එම සටන ඉදිරියට ගත යුතුයි. ජනතාවට අපි කියනවා දෙගිඩියාවකින් ඉන්නේ නැතිව පවුල්වාදී ඒකාධිපති පාලනය පරාජය කරීම සඳහා කි‍්‍රයාකළ යුතුයි කියලා.

No comments:

Post a Comment