Friday 23 November 2012

පොදු විපක්ෂ වැඩක් නැහැ. අරගලය දිනන්න ජනතා නැගිටීමක් ඕනා - ලාල්කාන්ත

අරගලය දිනාගැනීමටනම් ජනතා නැගිටීමක් මිස ශක්තිමත් විපක්ෂ, පොදු විපක්ෂ වැඩක් නැති බවත් ජනතාව බලගැන්විය යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (22) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් සංවිධානයකර ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති ‘වැය-අයවැය සහ වැටුප් ’ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය අමතමිණි. එහිදී ලාල්කාන්ත මහතා දැක්වූ අදහස් පහත පළා‍ වේ. "ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස අපි තීරණයක් ගත්තා වැටුප් සටන ජයග‍්‍රහණය කිරීම සඳහා ජාතික මට්ටමින් වැඩවර්ජනයක් කරන්න ඕනෑ කියලා. එවැනි තීරණයකින් ආණ්ඩුවට බලකරන්න ඕනෑ වැටුප් වැඩි කරන්න කියලා. අපි තීරණය ගත්තාට මේ වර්ජනය අපිට පමණක් කරන්න පුළුවන් කමක් නැහැ. තවත් වෘත්තීය සමිති ප‍්‍රමාණයක් තිබෙනවා. පක්ෂවලට සම්බන්ධ ඒවා තිබෙනවා. ස්වාධීන යැයි කියන වෘත්තීය සමිති තිබෙනවා. පක්ෂ පාට බේද නොසලකා ඒකාබද්ධ වෙලා සටනක් මගින් ආණ්ඩුවට බලපෑමක් කරන්න ඕනෑ මේ සටන දිනන්න නම්. ඒ සඳහා අප පළමුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයට ලිපියක් මගින් දැනුම් දුන්නා අප සමග සාකච්ඡුාවකට ආරාධනා කරලා. මොකද ආචාර්යවරුන්ටත් මේ අයවැයෙන් කිසිදු වැටුප් වැඩිකිරීමක් සිදුවෙලා නැහැ. ඉතිං ඔවුන් නැවතත් පාරට බහින්න ඕනෑ. එහෙම කරත් දින ගණන් ගත වෙයි. නමුත් ආණ්ඩුවට ගානක් නැහැ. මොකද ක්ෂේත‍්‍රය අධ්‍යාපන නිසා. විදුලිබල මණ්ඩලය, වරාය වර්ජනය කළොත් ආණ්ඩුවට බලපෑමක් තියෙනවා. ආණ්ඩුවට එයින් කෝටි ගණන් පාඩු වෙනවා. එම ක්‍ෂේත‍්‍රවල ගැටලුවලට ඉක්මනින් විසඳුම් හොයන්න ආණ්ඩුව උත්සාහ කරනවා. නමුත් අධ්‍යාපනය වගේ ක්‍ෂේත‍්‍ර එවැනි අවධානයකට ලක් නොවන නිසා ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය වෙනවා. කොහොම නමුත් එවැනි කතාබහකින් පසුව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය 24 වෙනි සෙනසුරාදා සාකච්ඡාවක් සඳහා වෙලාවක් අපට ලබාදීලා තිබෙනවා. ඒ වගේම අපි පසුගිය 20වෙනිදා රාජ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග සාකච්ඡුාවක් කළා. එහිදී යම් යම් එකඟතාවයන් සමග යහපත් ප‍්‍රතිඵලයක් සමග සාකච්ඡුාව අවසන් කරගන්න පුළුවන් වුණා. එවැනි ඒකාබද්ධ අරගලයකදී ඉල්ලීම් සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් තිබෙන්න පුළුවන්. වෘත්තීය සමිති සටනකදී පමණක් නොවෙයි ඕනෑම සටනකදී අපි ඉල්ලන්නේ උපරිම ප‍්‍රමාණයයි. උපරිම ඉල්ලීම් ඉල්ලලා කේවල් කරල අවසානයේ එන්න පුළුවන් යම් යම් තැන්වලට. නමුත් අප ඉල්ලන ඉල්ලීම්වලට යම් සාධාරණ පදනමක් තිබිය යුතුයි. අපේ ඉල්ලීම්වලට එවැනි සාධාරණ පදනමක් තිබෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒ ඉල්ලීම්වල පිහිටලා. ඒ වගේම ජාතික සේවක සංගමයේ සිරිමාල්ද මෙල් මහත්තයා අපිට සාකච්ඡුාවක් ලබාදෙන්න සූදානමින් ඉන්නවා. ඊළඟට අපි සමන් රත්නප‍්‍රියටත් දැනුම්දීලා තිබෙනවා. මෙහෙම කරනකොට එක එක ජාතියේ කතා කියන්න පුළුවන්කම තිබෙනවා. යූඑන්පී ජේවීපී හවුලක් ගැන කියන්න පුළුවන්. ඊළාම්වාදීන් සමග එකට වැඩකරනවා කියන්න පුළුවන්. එවැනි සාකච්ඡුාවක් එන්න පුළුවන්. එහෙම සාකච්ඡුාත් දැන් අවශ්‍යයි. නමුත් අපි ස්ථාවරයක ඉන්නවා මේ සටනට එකතු කරන්න පුළුවන් සියලූම දෙනා එකතු කරන්න ඕන කියලා. එහෙම නැතුව මේ අරගලය දිනන්න අමාරුයි. යූඑන්පී ආණ්ඩුව තියෙන කාලයේදී පෞද්ගලීකරණ වැඩපිළිවෙල ගෙනාවා. එකතු වෙනන් පුළුවන් හැමෝම එකතු වුණා. ටයි කෝට් දාපු දේශීය ආදායම් එකේ රේගුවේ අය ආවා. මහින්ද රාජපක්ෂත් ඒ කාලේ අරගලයට ආවා. ශ‍්‍රීලනිප, කො.ප, ලසසප වෘත්තීය සමිති එන්ජී ඕ කියන වෘත්තීය සමිතිත් ආවා. ඒකාබද්ධ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළා. කටුනායක අරගලය උදාහරණයක් ලෙස ගත්තොත් එය සංවිධානාත්මකව අරගලය කරපු නිසා ජයග‍්‍රහණය කරන්න පුළුවන් වුණා. එනිසා සටන් දිනන්න වෘත්තීය සමිතිවල ඒකාබද්ධතාවයක් අවශ්‍යයි. ඒත් සමහර වෘත්තීය සමිති තියෙනවා අරගලවලට බයයි. සමහර දේශපාලන පක්ෂ වගේ. ඒවා සමහර අවස්ථාවල ලක්ෂගානකට නම විකුණන තත්වයට පත්වන දේශපාලන පක්ෂයි. තවත් පැත්තක් තියෙනවා. වැඩකරන ජනතාව පංතියක් ලෙස සංවිධානය කරන්න ඕනෑ. තම තමන්ගේ වෘත්තීය සමිතියේ නායකයන් එන්නේ නැතිනම් අපි සාමාජිකයින්ට කියනවා මේ අරගලයට සහාය ලබාදෙන්න අපේ නායකත්වය යටතේ අපේ වැඩපිළිවෙලට අනුව අරගල කරමු කියා. එහෙම කියන්න අයිතියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට තිබෙනවා. මොකද අපි සටන් පාවලා දීලා නැහැ. හැම සටනම දිනුවේ නැතත් සමහර සටන් දිනාදීලා තිබෙනවා. අපි ජනතාවගේ විශ්වාසය රැකලා තියෙනවා. ඒ වගේම මේ අරගලය ජයග‍්‍රහණය කිරීමට මතවාදී අරගලයක් කරන්නත් අවශ්‍යයි. අනෙක් පැත්තෙන් පොදු ජනතාවගේ සහාය ලබාගන්න ඕනෑ. ආණ්ඩුව උත්සාහ කරන්නේ වර්ජකයින් සහ පොදු ජනතාව අතර ගැටුමක් නිර්මාණය කරන්නයි. පසුගිය දවස්වල පැවැති ආචාර්යවරුන්ගේ අරගලයේදී එහෙම කළා. සමහර වෘත්තීය සමිති නායකයින් ඉන්නවා ආණ්ඩුවේ උවමනා එපාකම් ඉෂ්ඨ කරන. මවුලානා සහෝදරයා (එහෙම කිව්වේ එයා වැඩියෙන් කැමතියි සහෝදරයා කියනවට) ලෙඩ ඇඳේ ඉදලා ඇවිත් හරි අපේ අරගලය වැරදියි කියලා කියයි. තව ඉන්නවා කට්ටියක්. ඩබ්. එච්. පියදාස, සෝමවීර චන්ද්‍රසිරි, ලෙස්ලි දේවේන්ද්‍ර. විමල් වීරවංශ මහත්තයා, චම්පික රණවක කියන්න පුළුවන් මේක ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් කියලා. විවිධ කතා හදන්න පුළුවන්කම තියෙනවා. එනිසා වැඩකරන අය අතරට පමණක් නොවෙයි. පොදු ජනතාව අතරටත් මෙම මතය ගෙනයන්න ඕනෑ. දැන් ආණ්ඩුව බොරුවක් කියනවා රාජ්‍ය සේවකයට රුපියල 1,500ක් පඩි වැඩි කළා කියලා. නමුත් ඒක බොරුවක් බව සේවකයා දන්නවා. මොකද පඩි පත අතට ලැබෙන නිසා. නමුත් සාමාන්‍ය ජනතාව හිතාගෙන ඉන්නේ රුපියල් 1,500ක්ම වැඩිවුණා කියලා. අනෙක් කරුණ තමයි ආණ්ඩුව උපයාගැනීමට ඇස්තමේන්තු කර තිබෙන බදු ආදායම අනුව හැම පවුලක්ම මාසයකට අලුතින් රුපියල් 3,500ක් බදු වශයෙන් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ. ආණ්ඩුව එක පවුලක වියදම රුපියල් 3,500කින් වැඩි කළා මේ අයවැයෙන්. ඒක ජනතාව දන්නේ නැහැ. එනිසා පාර්ලිමේන්තුවේ නෙවෙයි එළියේ අයවැය විවාදයක් ඕනෑ. අපිට පාර්ලිමේන්තුව වැඩක් නැහැ. වමේ ව්‍යාපාරයක වෘත්තීය සමිතියක් විදියට අපිට පාර්ලිමේන්තුව උත්තරීතර නැහැ. අපි පාර්ලිමේන්තුව අත්හැරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ පරද්දන්න බැරි දේවල් එළියේ පරද්දන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ රටට, ජනතාවට සංවිධානාත්මක ජන බලවේගයක් ඕනෑ කියලා. ශක්තිමත් විපක්ෂ, පොදු විපක්ෂ වැඩක් නැහැ. ජනතාවයි බලගන්නවන්න ඕනෑ. 53දී ජනතා නැගිටීමක් සිදුවුණා. ජනතාව හාල් සේරුවක් වෙනුවෙන් පාරට බැස්සා. දැන් කොයිතරම් ප‍්‍රශ්න තියෙනවද? නමුත් ජනතාව පාරට බහිනවද? නැහැ. ඔවුන් රවට්ටලයි තියෙන්නේ. මේ වැටුප් අරගලය දිනන්නත් ජනතා නැගිටීමක් ඕනෑ. වෘත්තීය සමිති පමණක් නොවෙයි. වැඩකරන ජනතාව සමග ගොවීන්, සාමාන්‍ය ජනතාව පාරට බහින්න ඕනෑ. එනිසා අපි මූලික ඉල්ලීම් පදනම් කරගනිමින් එකතු කරන්න පුළුවන් සියලූම බලවේග එකතු කරනවා. දේශපාලන පක්ෂවලට පුළුවන් අපේ සටන් පාඨය අරගෙන ගමට යන්න. අපට සහාය දෙන සංවිධාන ගොඩ නගන්න පුළුවන්. මොකද මහින්ද රාජපක්ෂ අයවැයෙන් දීලා තියෙන පණිවුඩය තමයි උඹලට පුළුවන්නම් සටන් කරලා දිනාගනිල්ලා කියලා. එවැනි සටනක් ඝෝඨාභයගේ ති‍්‍රවිධ හමුදාවට, පොලීසියට නවත්වන්න පුළුවන්ද? කවදාවත් බැහැ. 53 ජනතා නැගිටීම කුඩා එකක් වුණත් ඇමති මණ්ඩලේ රට දාලා පැනලා ගියා. එදා හිටපු වෘත්තීය සමිති නායකයින්ගේ දුර දැක්මක් නැතිකම නිසා ඒ අරගලය අසාර්ථක වුණා. එයින් අපට යම් ආදර්ශයක් ගන්න පුළුවන්. එවැනි අරගලවලට නිවැරදි නායකත්වය දෙන්න තමයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අපි ගොඩ නැගුවේ. මේ අතරේ ගුරු සංගමය වැඩවර්ජනයක් කැඳවලා තියෙනවා. එක දවසක් වර්ජනය කරාම ආණ්ඩුවට යම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත් එක දවසින් ප‍්‍රශ්න විසඳන්නේ නැහැ. ඒ ශ්‍රේණීයේ ආයතන තියෙනවා. විදුලිය වැනි ආයතන. එක දිනයක් හෝ වර්ජනයක් කළොත් විශාල බලපෑමක් ආණ්ඩුවට කරන්න පුළුවන්. නමුත් සමහරු හිතාගෙන ඉන්නවා වැඩ වර්ජනය තමයි ලොකුම දේ කියලා. නමුත් වැඩවර්ජනය කාටත් කරන්න පුළුවන්. නමුත් ලොකුම දේ අරගලය සඳහා සියලූම බලවේග එකතු කර ගන්න එකයි. මේ අයවැයෙන් ගොවියට සහන නැහැ. ගොවි විශ‍්‍රාමය ගැන කතාවක් නැහැ. ධීවරයා ගැන කිසිම කතාවක් නැහැ. පෞද්ගලික අංශයේ සේවකයා ගැන එක වචනයක් සඳහන් වෙලා නැහැ. රාජ්‍ය සේවකයාට දෙනවා කිව්වා රුපියල් 1,500 කතාවත් බොරුවක්. සාමාන්‍ය ජනතාවට කිසිම සහනයක් නැහැ. ගොවි, කම්කරු, පොදු ජනතාවට කියන්න තියෙන්නේ මේ අයවැය බංගවේවා කියලා පමණයි. එනිසා මෙම අරගලය ගැන ආයතන ඇතුලේ කතා බහ කරන්න ඕනෑ. ආයතන ඇතුලේ තියෙන වෘත්තීය සමිති එකකට එකක් තරඟ කරන්නේ නැතිව පොදු අරගලයට සහාය දැක්වීමට සාකච්ඡා කරන්න උත්සාහ කළ යුතුයි. විවිධ මත තියෙන්න පුළුවන් වෘත්තීය සමිති අතර. නමුත් ඒවා අමතක කරලා පොදු අරගලයක් සඳහා සාකච්ඡා කරන්න සූදානම් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එවැනි අරගලයකට අපි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් බවත් කියන්න කැමතියි." මෙම අවස්ථාවේදී අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතාද දේශන පැවැත්වීය.

No comments:

Post a Comment