Thursday 29 November 2012

ඉන්ධන පිරවුම්හලක් ඕන නම් දැන්ම කියන්න

ඉන්ධනහල් පිහිටුවීම නව ක‍්‍රමවේදයක් යටතේ සිදුකිරීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි. අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එහි මෙසේද සඳහන්ය. ඒ අනුව ඉන්ධනහලක් පිහිටුවීම සදහා වන ඉල්ලූම්පත් ceypetco.gov.lk වෙබ් අඩවියේ ස්ථාපිත කොට ඇති අතර එම ඉල්ලූම්පත් සම්පූර්ණ කොට රුපියල් 2500ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුදල් අංශයට ගෙවා, ඒ අනුව ලැබෙන ලදුපත සමග අයදුම්පත අළෙවි අංශයට භාරදිය යුතු වේ. ඒ අනුව අළෙවි අංශය අදාළ අයදුම්පත ලියාපදිංචි කොට ඉල්ලූම්කරුට අංකයක් නිකුත් කරයි. නව ඉන්ධනහල් පිහිටුවීම සම්බන්ධව මොරටුව විශ්ව විද්‍යාලය කළ සමීක්‍ෂණයේ වාර්තාවට අනුව අදාළ අයදුම්කරු ඉල්ලා සිටින ස්ථානයට ඉන්ධන පිරවුම්හලක් අවශ්‍යදැයි අළෙවි අංශය විසින් සොයා බලා ඉන්ධනහලක් අවශ්‍යනම් නව ඉන්ධන පිරවුම්හලක් සදහා අවශ්‍ය කරන ලිපිලේඛන පිළිබඳව අයදුම්කරු දැනුවත් කරයි. මොරටු විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂණ වාර්තාව අනුව අදාළ ස්ථානයට ඉන්ධන පිරවුම්හලක් අවශ්‍ය නොවේ නම් ඒ බව අයදුම්කරුට අළෙවි අංශය විසින් දැනුම් දෙනු ලැබේ. යම් ස්ථානයකට ඉන්ධනහලක් ලබාදීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිර්දේශිත නිර්ණායක පිළිබදව සලකා බලා නව ඉන්ධනහල ස්ථාපිත කිරීමට අවසර ලබා දේ. නව ක‍්‍රමවේදය යටතේ සෑම ඉන්ධන පිරවුම්හලක්ම නවීන තාක්‍ෂණයට අනුව ස්ථාපිත කළ යුතු අතර ප‍්‍රමාණවත් උපකරණ හා ගබඩා පහසුකම්, පාරිභෝගික සේවා පහසුකම්, බලශක්ති සංරක්‍ෂණ උපක‍්‍රම, පරිසර හිතකාමී ආරක්‍ෂිත පිළිවෙත් භාවිතා කළ යුතු අතර එවැනි සුදුසුකම් ලත් ආයෝජකයින්ට නව ඉන්ධනහල් ලබාදීමට තීරණය කර ඇත.

No comments:

Post a Comment