Wednesday 26 December 2012

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව නඩු පවරනවා - විජයදාස රාජපක්ෂ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා ඒ මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද මාධ්‍යයට ප්‍රකාශ ලබාදී තිබුණි. ඒ අනුව ප්‍රිශාන්ත ජයකොඩි මහතා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් පැවැසුවේ එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රකාශවල පරස්පරතාවයක් පවතින බවයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳව කළ ප්‍රකාශ පරස්පර යැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු ඊට සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව අපහාස නඩුවක් පැවරීමට කටයුතු කරන බවයි. එසේම තමන් පොලීසිටය දුන් ප්‍රකාශ වැරදි සහගත ලෙස මාධ්‍යයට නිකුත් කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි. අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවා කතා කිරීම තහනම් තත්වයක් තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති අතර මෙලෙස නිවේදන නිකුත් කිරීම තුළ ඔවුනට ඉහළ බලපෑමක් ඇති බව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment