Thursday 13 December 2012

පැරෂුට් කර්නල් තනතුරු නිසා හමුදා නිලධාරීන් කලකිරිලා

සරසවි සිසුන් සහභාගි කරවාගෙන හමුදා කඳවුරු තුළ පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුව දෙසැම්බර් 27 දින යළිත් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එම නායකත්ව පුහුණුවට සෑම පාර්ශවයකින්ම විරෝධතා එල්ල වී තිබියදී එය නොසලකා සිසුන්ව බලහත්කාරයෙන් මෙම නායකත්ව පුහුණුවට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ සිසුන්ගේ නිදහස් චින්තනය මොට කරමින් තමන්ට හීලෑ පිරිසක් බිහි කර ගැනීමට යැයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙයි. ඔහු විසින් නිකුත් කළ නිවේදනයක මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද සඳහන්ය. සරසවියට ඇතුළත් වන නවක සිසුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමට යයි කියමින් පසුගිය කාලයේ බලහත්කාරයෙන් සරසවි සිසුන් සහභාගි කරවාගෙන හමුදා කඳවුරු තුළ පැවැත්වූ නායකත්ව පුහුණු වැඩමුළුව දෙසැම්බර් 27 දින යළිත් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙම නායකත්ව පුහුණුව ආරම්භ කළ අවස්ථාවේ සිට ඊට සිසුන්, දෙමාපියන් සහ සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් බලවත් විරෝධතාවක් එල්ල විය. එහෙත් එම විරෝධතාවන් නොසලකා සිසුන්ව බලහත්කාරයෙන් මෙම නායකත්ව පුහුණුවට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළේ සිසුන්ගේ නිදහස් චින්තනය මොට කරමින් තමන්ට හීලෑ පිරිසක් බිහි කර ගැනීමටය. මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන්ගෙන් පළමු කණ්ඩායම සඳහා දෙසැම්බර් 27 සිට 2013 ජනවාරි 12 දක්වා මෙම නායකත්ව පුහුණුව පැවැත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩිවියේ සඳහන් වේ. පසුගිය අවස්ථාවේ මෙම පුහුණුවට බලහත්කාරයෙන් සහභාගි කරවාගත් සිසු සිසුවියන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර සමාජයේ දැඩි විරෝධයක් පවතිද්දී මෙවරත් එය පැවැත්වීමට සැලසුම් කිරීමෙන් පැහැදිළි වන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය හමුදාකරණය කිරීමේ ආණ්ඩුවේ උවමනාව තවදුරටත් ක්‍රියාත්මක වන බවකි. මෙම නායකත්ව පුහුණුව නමින් කරන හමුදාකරණය විශ්ව විද්‍යාල පද්ධතියට සීමා නොවූ අතර එය පාසල් පද්ධතියටද ගෙන එමින් සමස්ත පාසල් පද්ධතිය හමුදාකරණය කිරීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ. මේ අනුව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමෙන් එය ආරම්භ කරන ලදී. එම සැලසුමේ තවත් පියවරක් වූයේ පාසල්වල විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදී පැරෂුට් කර්නල් තනතුරු පිරිනැමීමයි. විදුහල්පතිවරුන්ට මෙම පැරෂුට් කර්නල් තනතුරු ලබාදීම, මහත් වෙහෙසක් දරා දීර්ඝ කාලීන පුහුණුවකින් මෙම තනතුරුවලට පැමිණි හමුදා නිලධාරීන්ගේ කලකිරීමට හේතු වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් සිසුන්ට විශේෂ නායකත්ව පුහුණුවක් ලබාදීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ හමුදා විනය තුළ නොව සිසුන්ගේ නිදහස් චින්තනය පුබුදුවන පරිදිය. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු, අධ්‍යාපන විශේෂඥයන් සිටියදී හමුදා නිලධාරීන් යොදා ගනිමින් පාසල් සිසුන්ට හා විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමෙන් සිදුවන්නේ සිසුන්ගේ නිදහස් චින්තනය මොට කිරීමකි. ආණ්ඩුව විශ්ව විද්‍යාල පද්ධතිය සහ පාසල් පද්ධතිය මෙසේ හමුදාකරණයට ලක් කිරීමට කැසකවන්නේ සිසු අයිතීන් කප්පාදු කිරීමේදී, නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමේදී ඊට එරෙහිව ඇතිවන සිසුන්ගේ විරෝධතා මර්දනය කර හමුදා විනය තුළ මෙන් පාලකයන්ට අවනත වන සමාජයක් නිර්මාණය කිරීමටය. 2011 අපොස උසස් පෙළ ප්‍රතිඵල ව්‍යාකූල කළ ආණ්ඩුව අධිකරණ නියෝගය අනුව තවමත් සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගෙන නොමැත. මේ තත්ත්වය තුළ ආණ්ඩුව කළ යුත්තේ නායකත්ව පුහුණුව ලබාදීම නොව 2011 උසස් පෙළ සමත් සිසුන් වහාම විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගෙන ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා දැනටමත් ප්‍රමාද වී පවතින ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වහාම ආරම්භ කිරීමයි. 2011 උසස් පෙළ සිසුන් විශ්ව විද්‍යාලවලට කඩිනමින් ඇතුළත් කර ගැනීම තවදුරටත් ප්‍රමාද කරමින් ඉහත ආකාරයෙන් කටයුතු කිරීම දැඩි ලෙස හෙළාදකින ලංකා ගුරු සංගමය සිසුන්ගේ නිදහස් චින්තනය මොට කරන මෙම නායකත්ව පුහුණුව වහාම නතර කරන ලෙසත්, පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතිය හමුදාකරණය කිරීමේ සැලසුම් වහා අකුලා ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කර සිටී.

No comments:

Post a Comment