Saturday, 9 March 2013

සමාජවාදී සමාජය ගොඩනැංවීමට කියුබානු කාන්තා සංවිධාන සෙබළියක් ලෙස ක‍්‍රියාත්මකය - කියුබානු තානාපතිනිය

103වන ජාත්‍යන්තර කාන්දිනය වෙනුවෙන් අයිතීන් උදේසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් හිංසනය, දූෂණය, පීඩනය නවතනු මැයෙන් කොළඹ මහජන පුස්තකාලයේදී අද (08) ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක්ද පැවැත්වීය. එහි ප්‍රධාන දේශනය ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ කියුබානු තානාපතිනි ඉන්දිරා ලෝපේස් මහත්මිය පැවැත්වූ අතර අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ සරෝජා පෝල්රාජ් මහත්මිය සහ උප සභාපතිනි, නාගරික මන්ත‍්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මියද දේශන පැවැත්වූහ. කියුබානු තානාපතිනියගේ දේශනයේ සංක්ෂිප්ත පරිවර්තනය පහතින් පළවේ "අද මට ඇරයුම් ලැබී ඇත්තේ, කියුබානු කාන්තාව ගැන කථා කිරීමටයි. මගේ පළමු වචන කිහිපය අපේ සහෝදරයා, කාන්තාවන්ගේ මිතුරා, ආදරණීය ජනාධිපති හියුගෝ චාවේස් වෙනුවෙනුයි. ඔහුගේ නායකත්වය යටතේ වෙනිසියුලානු කාන්තාව තම විප්ලවයේ නව පරිච්ජේදයක් යටතේ ජීවත්වීම අරඹා තිබුණා. අපේ කියුබානු ජාතික වීරවර ජොසේ මාර්ටි වරක් මෙසේ කිවුවා. ‘කම්කරුවාගේ ජීවිතය ඉතා හොඳින් පරිපූර්ණ කරන්නාවූද, සිරගෙවල් බිඳින්නාවූද, ජිවිතය මිය යමින් තිබියෙදී අවසානයෙන් ආරම්භ කරන්නාවූද මරණය මරණයක් නොවේ. එය සැබෑ ජීවත්වීමකි!’ අපේ හියුගෝ චාවේස් සහෝදරයා අන් කිසිදාටත් වඩා අද ජීවත් වෙනවා. සියලුදෙනාට ජයග‍්‍රහණය! අපි දිනන්නෙමු! ඔබ ඇතැමෙක් දේශපාලනයේ කියුබානු කාන්තාවගේ ඉහළම නියෝජනය පිළිබඳව දැනසිටින්නට පුළුවන්. අභිනවයෙන් තෝරාපත් කරගන්නා ලද පළාත් සභාවන් 15න් 07කට නායකත්වය සැපයීමට නියමිත වන්නේ අපයි. එසේ වන්නේ කාන්තාවන් සඳහා වූ කෝටා ක‍්‍රමයකින් තොරව හුදු කුසලතා සහ හැකියාවන් අනුවයි. කියුබානු ශ‍්‍රම බලකායෙන් 67%ක් කාන්තාවන්. වඩාත්ම පුහුණු හා උපාධිධාරී වෘත්තීමය මට්ටමේ රැකියාවලින් 49%ක් කාන්තාවන් විසින් දරනවා. එහෙත් මෙම තත්වය හැමදාම පැවති යථාර්ථයක් නෙමෙයි. කියුබාවත් යටත්විජිත ඉතිහාසයක් පැවති තෙවැනි ලොව රටක්. අපේ අතීත ස්වදේශික ජනතාව ස්පාඥ්ඥ යටත්විජිතවාදීන් විසින් මුලිනුපුටා දමනු ලැබුවා. එහෙත් මුල්ම සටන් පැන නැග්ගේ අපේ කාන්තාවන් අතරින්. අපේ ස්වදේශික නායක අනකොනෝවාගේ බිරිඳ ඔහු සමගම මරාදමනු ලැබ ස්පාඥ්ඥ යටත්විජිතවාදී ම්ලේච්ඡත්වය තුළ වළලනු ලැබුවා. ඔවුන් අපේ භූමියට කතෝලික ආචාරධර්ම සහ පීතෘමූලික සමාජය හඳුන්වා දුන්නා. කියුබාව වහල් යුගයේ පවතිද්දී ඊට එරෙහිව නැගුණු සටන්වලදී කාන්තාවන්ගේ ක‍්‍රියාකාරිත්වය කැපී පෙනුණා. ඔවුන්ගෙන් කෙනෙකු වන වහල් කාර්ලොට්ටා ස්පාඥ්ඥ ජාතිකයන්ට එරෙහි කළු කැරලිකරුවන්ගේ එක් ප‍්‍රධාන නායිකාවක් වූවා. ඇයට ගරු කිරීමක් ලෙස වර්ණභේදවාදී අප‍්‍රිකාවේ අපේ ජාත්‍යන්තරවාදී සහයෝගීතා මෙහෙයුම කාර්ලොට්ටා නමින් නම් කළා. එය අපගේ අප‍්‍රිකානු මූලයන් හඳුනාගැනීමක් මෙන්ම සටන්වැදීමට හා ජයග‍්‍රහණය කිරීමට කාන්තාවන් තුළ වන අධිෂ්ඨානයේ සංකේතයක්. පසුව නිදහස් අරගල සමයේ කාන්තාවන්ගේ දායකත්වය බරපතළ ලෙස ලැබුණා. බොහෝ ගැමි කාන්තාවන් කියුබානු සේනාංක තුළ සිටියා. කියුබානු භූමිය ස්පාඥ්ඥ යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කර ගැනීමට කියුබානු කාන්තාවන් තුළ වූ අධිෂ්ඨානයේ කැපී පෙනෙන උදාහරණය වනුයේ, මරියානා ග‍්‍රැජල්ස්. ඇය නිදහස් සටන්කාමීන්ගේ වඩාත්ම නිර්භීත ජෙනරාල්වරුන් සහ ඉහළ පෙලේ නිලධාරීන් 05දෙනෙකුගේ මවයි. එම කාලයේම ධනවත් හා දේශපේ‍්‍රමී කව තුළද ජනරජය වෙනුවෙන් සන්නද්ධව සටන් වැදුණු කාන්තාවන් සිටියා. ගෝමේස් ඩි ඇවලානෙඩා ධනවත් කිවිඳියක් වුවද කියුබානු දේශපේ‍්‍රමී කාන්තාවක් වූවා. ඇය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි මුල්ම අයගෙන් කෙනෙක්. ඇය කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දිය යුතු බවට හඬ නැගුවා. පළමු කාන්තා සේනාංක නිර්මාණය කළේ ඇයයි. කාන්තාවන් සහ පිරිමින් අතර සමානත්වය පිළිබඳව කථාකළ ඇය ඡන්දය දීමට සහ ඡන්ද සඳහා ඉදිරිපත්වීමට කාන්තාවට අයිතියක් ඇති බව අවධාරණය කළා. ඇය විසින් නිදහස් සටන්කාමීන්ගේ ව්‍යවස්ථාදායකය තුළ මතු කළ භේදය කෙතරම් විශාලද යත් අප නිදහස් සටනට සුවිශේෂී සහ අපේම ස්වරූපයක් අත්පත් කරගත හැකි වූවා. සියලු අවශ්‍යතා එක්ව ගෙන ඉදිරියට යාමට උගත් අප සාමූහික ඉල්ලීම් තුළට අපේ අයිතීන් උපක‍්‍රමශීලී ලෙස ඇතුළත් කළා. එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ කාන්තා ව්‍යාපාර සහ අපේ කාන්තා කණ්ඩායම් අතර විශාලතම වෙනස වන්නේ මෙයයි. යුද්ධය අවසන් වෙද්දී අපේ වැන්දඹුවන්ට ඉඩම් නොතිබූ අතර ඔවුන්ගේ දරුවන් දෙවන පෙළ පුරවැසියන් ලෙස සැලකුණා. එම නිසා කියුබාව ජනරජයක් වුවද කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම සඳහා දෙවන අරගලයක් අවශ්‍ය බව හැඟී ගියා. විසිවන සියවසේ මුල නව ජනරජයේ මුල් වසරවලදී කාන්තාවන්ට ගෘහ සේවිකාවන්, දුම්කොළ වගා කරන්නියන්, ඇමරිකානු නාවිකයන්ගේ ගණිකාවන්, උක් වගා කරන්නියන් ලෙස සේවය කිරීමට සිදු වුණා. ඇතැම් කාන්තාවන්ට බලහත්කාරී ලෙස ඇමරිකානු හෝටල් සහ කැසිනෝ තුළ සේවය කිරීමට සිදුවුණා. අපේ අසීරුතම කාල පරිච්ඡේදය වූයේ එයයි. ජනරජයේ නිදහස කඩදාසිවල පමණක් පැවති අතර ඇමරිකානු සමාගම් භූමිය අත්පත් කරගනිමින් සිටියා. කියුබානු කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ කාන්තාවන් සහ සමාජවාදී කණ්ඩායම් වෘත්තීය සමිති මගින් තම සටන ආරම්භ කරනු ලැබුවා. ඒ, ‘සමාන වැඩට සමාන වැටුප්’ යන සටන් පාඨය යටතේයි. පසුව එය සියලු වෘත්තීය සමිතිවල ඒකාබද්ධ සටනක් බවට පත් වූවා. වෘත්තීය සමිතිවල කාන්තා නියෝජනය ඉහළයත්ම කාන්තාවන්ට ඡන්ද බලය සහ තේරී පත්වීමට ඇති අයිතිය සම්බන්ධ අදහස් ඉදිරියට ආවා. ඉන්පසු තවත් ඉදිරියට යමින් වාමාංශික කාන්තා සංවිධාන කාන්තාවන්ගේ සිවිල් අයිතිවාසිකම් නැංවීමේ සටන් පාඨ ඉදිරියට ගෙන ගියා. ඉඩම් හිමිකම, දික්කසාදවීමේ හිමිකම, රිය පැදවීමේ, ගිණුම් පවත්වාගැනීමේ, විශ්වවිද්‍යාලවලට ඇතුලත්වීමේ හිමිකම ඒ අතර වූවා. මේවා පිරිමින්ට එරෙහි ව්‍යාපාර වූයේ නැහැ. මෙය දුප්පත් සහ අව වරප‍්‍රසාදිත ජනතාව සහ ධනවත්, අධිරාජ්‍යවාදී කොටස් අතර ගැටලුවේම කොටසක් බව අපට ඉතා පැහැදිලි වූවා. මෙවාට අදාල ඇතැම් නෛතික තත්වයන් සහතික කරගැනීමට ලැබුණත් එවා ක‍්‍රියාත්මක තත්වයට ගෙනඒමට නොහැකිව තිබුණා. ඒ, බැටිස්ටාගේ ආඥාදායකත්වය ස්ථාපිතවීම තුළයි. නැවත වරක් තම අයිතීන් උදෙසා වන කාන්තාවන්ගේ අරගලය ඉදිරියට ගියේ ෆිදෙල් සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ජුලි 26 ව්‍යාපාරය සමගයි. සිලියා සෑන්චේස් මැන්ඩුලේ, විල්මා එස්පින්, අසේල ඩි ලොස් සැන්ටෝස් සියෙරා මහේස්ත‍්‍රා කඳුකරයේදී මිනිසුන් සමග උරෙනුර ගැටෙමින්ද නගරවල අරගල සංවිධානය කරමින්ද සමස්ත කියුබානු භූමිය පුරාම සටන් කළා. කාන්තා සහභාගිත්වය සමග නව කැරලි හමුදාවේ ප‍්‍රතිරෝධය සහ ජනතාව අතර සහයෝගීතා නැංවුණා. සියරා මයේස්ත‍්‍රාවේ සටන් පෙරමුණේද මරියානාස් නමින් සේනාංකයක් පැවතියා. මෙම උපක‍්‍රමය සාර්ථක බව ඉතිහාසය විසින් ඔප්පු කළා. මෙම සමාන්තර අරගලයේ වටිනාකම අද දක්වාම පවතිනවා. විප්ලවයේ පළමු දිනවලදීම ෆිදෙල් විල්මාට සහ සිලියාට සියලු පහසුකම් ලබාදුන්නේ, ලිවීම හා කියවීම ඉගැන්වීම මගින් දහස් ගණනක් ගණිකාවන් වෙනත් රැකියාවලට යෙදවීම සඳහායි. දෙවනුව කියුබානු කාන්තා ෆෙඩරේෂණය විසින් විප්ලවය ඉල්ලා සිටි නව ආර්ථික ව්‍යාපෘතිවලට සහය සඳහා ගැමි කාන්තාවන් පුහුණු කරවීමට කෘෂි පාසල් ආරම්භ කරනු ලැබුවා. සියලු අයිතීන් කඩදාසිවල පමණක් නොව සැබෑ ජීවිතය තුළම ස්ථාපිත කරනු ලැබුවා. ජීවිතයේ සියලු ක්ෂේත‍්‍රයන්හිදී කාන්තාවන් බලගැන්වීම සඳහා වූ සහ අද අපි භුක්ති විඳින්නාවූ දේශපාලන නියෝජන තත්වයට ළඟාවීම සඳහා නෛතික සහ ප‍්‍රායෝගික තත්වයන් බොහොමයක් අද වන විට කියුබාව තුළ ස්ථාපිත කර තිබෙනවා. සෑමවිටම තවත් දේ කිරීමට තිබිය හැකියි. නිදසුන් ලෙස ඒඩ්ස් වැළැක්වීම, අඩු වයසින් ගැබ්ගැනීම වැළැක්වීම, විවාහයේ අගයන් ආරක්ෂාකිරීම දැක්විය හැකියි. අපරාධවලට, මත්ද්‍රව්‍යවලට එරෙහි අරගලයේදී පමණක් නොව දරුවන් ප‍්‍රතිශක්තිකරණය කිරීමට, පාසල් අධ්‍යාපනයට, ජනතාවගේ දැනුම් මට්ටම නැංවීමට, ඩෙංගුවලට එරෙහි සෞඛ්‍ය සංරක්ෂණයට, නව සමාජයක් සඳහා වන දේශපාලන වෙනස්කම්වලට සහය දැක්වීමට සහ පොදු ජනතාව සමග පොදු ජනතාව වෙනුවෙන් සමාජවාදී සමාජය ගොඩනැංවීමට කාන්තා සංවිධාන සෙබළියක් ලෙස ක‍්‍රියාත්මකය. ඉන්දිරා ලෝපේස් ශ‍්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි 2013.03.08"

No comments:

Post a Comment