Saturday 23 March 2013

ජනාධිපති බාප්පාගෙන් ශෂීන්ද්‍ර පුතාට තවත් තෑග්ගක්

ජනාධිපතිවරයාගේ ඥාති පුත් හා කතානායකවරයාගේ පුත් ඌව පළාතේ මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නිලවරණයකින් තොරව තවදුරටත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේධූරය දැරීම සඳහා මාර්තු මස 15 වෙනි දින අංක 1807/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අවස්ථාව සසාදී ඇත. බුද්ධශාසන හා ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දී. මූ. ජයරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය මගින් සිදුකර ඇත්තේ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 12වැනි වගන්තියේ (ආ) ඡේදයෙහි දැක්වෙන, බස්නායක නිලමේ වරයෙකුගේ ධූර කාලය දීර්ඝ කිරීමේදී සමස්ත කාලය වසර දෙකක් නොඉක්මවිය යුතුය යන විධිවිධානවලින් ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ නිදහස් කිරීම සඳහා එම විධිවිධාන වලින් රුහුණු මහා කතරගම දේවාලය නිදහස් කර ඇත. බෞද්ධ විහාරගම් දේවාල ආඥා පනත අනුව ධුරයට පත්වූ දින සිට පස් අවුරුදු කාලයක් බස්නායක නිලමේ වරයෙකුට සිය ධූරය දැරිය හැකි අතර ඉන් පසුව එම විහාරයේ හෝ දේවාලයේ දේපළ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා හිතකර වේ යැයි ජනාධිපතිවරයාට හැඟෙන්නේ නම් එම ධූර කාලය වරකට එක් වසර බැගින් උපරිම වසර දෙකක කාලයකට දීර්ඝ කළ හැකිය. ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ රුහුණු මහකතරගම දේවාලයේ පසු අවුරුදු ධුර කාලය අවසන් වීමෙන් පසු දීර්ඝ කරන ලද වසර දෙකක ධූර කාලය මාර්තු 15වැනිදායන් අවසන් වී ඇත. ඒ අනුව එම ධූර කාලය සඳහා අනිවාර්යයෙන්ම නිලවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පැනනැගී ඇති අවස්ථාවේ අගමැතිවරයා මෙම ගැසට් නිවේදනය සිදුකර ඇත. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය දරමින් සිටියදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව පළාතේ මහ ඇමතිවරයා වශයෙන් තේරීපත්වීමෙන් පසු එම ධූරය දැරීම සඳහා ඔහු නුසුදුස්යෙකු බවට පත්වී සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මීට පෙර 2009 අගෝස්තු 14 වනදා අංක 1614/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළකරමින් බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 14 වැනි වගන්තියේ (ඇ), (ඈ) ඡේදවල විධිවිධානවලින් ඔහු නිදහස් කළේය.

No comments:

Post a Comment