Saturday 6 April 2013

අවුරුදු 42 ක්‌ පැරණි අප්‍රේල් කැරැල්ල ගැන ආවර්ජනයක්‌!

හැත්තෑ එකේ කැරැල්ල අපේ රටේ දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌. එවක පැවැති ආණ්‌ඩුව පෙරළා දැමීම සඳහා රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුත් අරගලය කැරැල්ලක්‌ දක්‌වා වර්ධනය වුවත්, අවසන ජවිපෙ එම උත්සාහය ව්‍යර්ථ විය. එදා 71 අප්‍රේල් 05 දා කළ ඒ අරගලයේදී දිවි පිදූ සිය සාමාජිකයන් සමරනු වස්‌ ජනතා විමුක්‌ති පෙරමුණසෑම වසරකම අප්‍රේල් 05 වැනිදා අප්‍රේල් විරු සමරුවක්‌ පවත්වනු ලබයි. මෙවර එය පවත්වනු ලැබුවේ 42 වරටය. අප්‍රේල් විරුවන් පිළිබඳ එදා කැරැල්ලට සක්‍රීයව සම්බන්ධ වූ අද ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. ප්‍රශ්නය - හැත්තෑ එකේ නැගිටීම නැත්නම් කැරැල්ලේ අරමුණ වූයේ කුමක්‌ද? පිළිතුර - එහි මුඛ්‍යාර්ථය මම ඉතාම කෙටියෙන් කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ස්‌ථාපිත නොවූ ශ්‍රී ලංකාව තුළ එය තහවුරු කිරීමයි අරමුණ වුණේ. ඒ හැර වෙනත් කිසිදු පුද්ගලික අරමුණක්‌ හෝ බලය පිළිබඳ අරමුණක්‌ තිබුණේ නෑ. ප්‍රශ්නය - එදා පක්‍ෂ නායක රෝහණ විජේවීර විසින් ඔබටත් භාරදූර වගකීමක්‌ පැවරුවා. පිළිතුර - ඔව්. භාරදුන්නා. ඒක අහපු එක හොඳයි. ඇත්තටම මම දැනන් හිටියේ නෑ මට කරන්න තිබූ කාර්යභාරය. එය ප්‍රශ්න කරන්න අපිට බැහැ. විප්ලවවාදියෙකුට එහෙම ප්‍රශ්නයක්‌ නෑ. මේ දේ කළ යුතුයි කීවාම එය කළ හැකිය යන්න සහතික කිරීමට අපි බැඳී ඉන්නවා. පසුව තමයි දැනගත්තේ එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමයි මට පැවරී තිබූ කාර්යය කියා. එය දැන ගත්තා නම් මම ඊට සහභාගි නොවන බව නොවේ මේ කියන්නේ. අරමුණ වෙනුවෙන් අපට කුමන වැඩ කොටසක්‌ පැවරුවත් අපි එය ඉටුකරන්න බැඳී සිටිනවා. ප්‍රශ්නය - රටේ සෑම පොලිස්‌ ස්‌ථානයකටම ප්‍රහාර එල්ල කර එවක රාජ්‍ය නායිකාව අත්අඩංගුවට ගැනීමට ජවිපෙ කළ කැරැල්ල අසාර්ථක වුණේ එකලත් පාවා දෙන්නන් පක්‍ෂය තුළ සිටි නිසා කිව්වොත් පිළිගන්නවාද? පිළිතුර - නෑ. වැරදියි.......... මේ වැරදි අදහස්‌ ගොන්නක්‌ තහවුරු කර තිබෙනවා. 1971 අප්‍රේල් 05 වැනිදායින් පසුව නොවේ ඊට පෙර සිට. ජනමාධ්‍ය, ආණ්‌ඩුව සහ නොයෙක්‌ බලවේග වැරදි අදහස්‌ තහවුරු කළා. ඒ දැනුම සහිතවයි ඔබ ඔය ප්‍රශ්නය මගෙන් අහන්නේ. ඔලුවෙන් හිටුවා ඇති මේ දැනුම සැබෑ ලෙසම දෙපයින් සිටුවිය යුතුයි. ඉතිහාසය නිවැරදි කළ යුතුයි. එය ජනතාව වෙනුවෙන් කළ යුතුයි. ජනතා විමුක්‌ති පෙරමුණේ වාසි අවාසි වගේම අනෙක්‌ පැත්තේ හරි හා වැරදි දේ දැනගෙන ඉතිහාසයේ ආ ගමන ගැන නිවැරැදිව ලියවිය යුතු තත්ත්වයකයි ඉන්නේ. ඒ ඉතිහාසය තමයි අද අපි ලියමින් ඉන්නේ. සමහර රූපවාහිනි සාකච්ඡාවලදී හැත්තෑ එක ගැන නොදන්නා අය එක පාරටම කියනවා හැත්තෑ එකේ, අසූ අටේ මැරුවා කියලා. ඒවා වැරදියි. ඒවා නිවැරැදි කළ යුතුයි. අපෙන් අඩුපාඩු වුණා නම් අපි ඒ ගැන ස්‌වයං විවේචනයක්‌ කළා. තවත් කරනවා. සමාජ සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම සඳහා තරුණයන් වරක්‌ නොවේ දෙවරක්‌ ජීවිත පරිත්‍යාග කළා. වැරදි අදහසක්‌ උදෙසා වුවත් දෙමළ තරුණ තරුණියන් තම හෘද සාක්‍ෂියට එකඟව ජීවිත පරිත්‍යාග කළා. මේ සියල්ල නිවැරදි කර මුළු මහත් ජාතියම ජාතික සංහිඳියාව දක්‌වා ගෙන ආ යුතුයි. ඒ සඳහා ඉතිහාසය නිවැරැදිව කතා කළ යුතුයි . මේ ජීවිත පරිත්‍යාග කළ අය වෙනුවෙන් වන්දි ගෙවීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා. ඉතිහාසය නිවැරැදි කර නිවැරදි දේ ප්‍රසිද්ධ විය යුතුයි. ඒක ජනතා අයිතියක්‌. ප්‍රශ්නය - ඒ කාලෙදි වාමාංශික ව්‍යාපාර චෝදනා කළා ජවිපෙ කියන්නේ සී.අයි.ඒ. කෙමනක්‌ කියලා. ඇයි එවන් චෝදනාවක්‌ කළේ. පිළිතුර - ඒකෙන්ම තේරෙනවා ඒ අයගේ බංකොලොත් බව. හැට ගණන්වලදී සී.අයි.ඒ. මේ ලෝකයේ අපකීර්තිමත් ම සංවිධානයක්‌. අදත් ඔවුන් නින්දිතයි. මුළු ලෝකයේම විනාශයට කුමන්ත්‍රණ කරන ආයතනයක්‌ වන සී.අයි.ඒ. හි කෙමනක්‌ කියා වාමාංශික ව්‍යාපාර ජවිපෙට චෝදනා කරනවා නම් හේතු ඉදිරිපත් කළ යුතුයි. නැගී එන ඕනෑම ව්‍යාපාරයකට සී.අයි.ඒ. ලේබලය ඇලවීම පහසුයි. වාමාංශික ව්‍යාපාරය වැරදි තැනකයි හිටියේ. හැත්තෑ අටේදී ත්‍රස්‌තවාදී පනතට එරෙහිව වාමාංශික ව්‍යාපාරය ඔය කියවන සී. අයි. ඒ. සමඟ එක වේදිකාවක සිටීමට හැකි වුණා. මේ රට තුළ සී. අයි. ඒ ව්‍යාපාරය කරන අපරාධ ගැන හෙළි කරන්න විශාලම කැපවීම කර ඇත්තේ ජනතා විමුක්‌ති පෙරමුණයි. ඒක ජනතාවටත් වඩා සී. අයි. ඒ. ව්‍යාපාරය දන්නවා. ප්‍රශ්නය - ඇත්තෑ එකේ නැගිටීම සහ අසූඅට අසූනවය ජවිපෙ මුහුණ දුන් තත්ත්වය සමාන කළ හැකිද? පිළිතුර - පුළුවන්. ජවිපෙ ගැන කතා කරද්දී 1971 අප්‍රේල් 05 දාට පසු දේ කතා කරනවා. ඒත් ඊට පෙර සිදුÊවූ දේවල් තියෙනවා. හැත්තෑව අවසන් වෙද්දී හැත්තෑ එක මුලදී එවක ආරක්‍ෂක ලේකම්වරයා වුණේ මට මතක හැටියට රාඡ්කුමාර් රත්නවේල් මහතා. ඔහු නිවේදනයක්‌ නිකුත් කළා ''ජවිපෙ ආණ්‌ඩුවේ අංක එකේ හතුරාය. එය හඹා ගොස්‌ විනාශ කළ යුතුයි" කියා. ඒ පිළිබඳ ලොරියක ලිපි ලේඛන මම දෙන්නම්. අප්‍රේල් පහ දාට පෙර ආණ්‌ඩුව නීතිවිරෝධී ප්‍රකාශ රටේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් ජවිපෙ තහනම් කරන්න නීති දැම්මා. පක්‍ෂය ගොඩනගන්න දුන්නේ නැහැ. ඒක ඔප්පු කළ හැකි සාක්‍ෂි මම දෙන්නම්. පරණ ලිපි ගොනු ආරක්‍ෂක අමාත්‍යාංශයේත් ඇති. මම අභියෝග කරනවා දැන් ඒවා එළියට දමන්න කියලා. ඒවගේ වසර තිහ හතළිහ පැරැණි ලේඛන ඇමරිකාවේත් එළියට දානවා. මේ බරපතළ දේශපාලන වැරදි, එළියට දාන්න, ඒ වැරදි සමඟ රටකට ඉදිරියට යන්න බෑ. ජවිපෙ අංක එකේ හතුරා වුණේ කොහොමද...... ඒවා තහවුරු කරන්න කරුණු ඉදිරිපත් කළ යුතුයි. පෝස්‌ටර් අලවද්දී අත පය කඩලා ඔලු පළලා උසාවි දැම්මාම මේ අය වරදක්‌ කර නැ කියා අධිකරණය තීරණය කරනවා. ව්‍යවස්‌ථාවෙන් දී තිබූ අයිතිය ජවිපෙට නැති කළා. ජවිපෙ මේකට ප්‍රතික්‍රියා කළා. ඕවා තමයි ජවිපෙ කළ වැරදි. ඕක තමයි ජන්ම දෝෂය. මුල්ම වරද. ඒක නොවුණා නම් ජ.වි.පෙ. ඉතිහාසය වෙනස්‌ වෙන්න තිබුණා. එහෙම නම් ජවිපෙට මුහුණ දෙන්න තිබුණේ මතවාදිවයි. ජන්ම දෝෂයෙන් නිර්දෝෂ වී නෑ. තවමත් කරගෙන යනවා. අපි කෑ ගහපු නිසා තමයි 94 ඉඳලා මේ දක්‌වා ඇවිත් තියෙන්නේ. රෝහණ විජේවීර සහෝදරයාට මේ පක්‍ෂය කරන්න ඉඩ දුන්නෙම නෑ. දේශපාලන සාකච්ඡාවක්‌ කරද්දී සිය ගණනක්‌ කුදලාගෙන යනවා. මොකද්ද නීතිය. 88 - 89 පටන් ගන්න කලින් 87 දී අපිව තහනම් කරන්නේ...... 83 දී අපිව තහනම් කරන්නේ ඇයි. තහනම් කළ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මියයන්න සති දෙකකට කලින් පුවත්පතකට කියනවා තහනම් කළ හේතුව. ජවිපෙ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ පාර්ලිමේන්තුවට එනවා. මට ඒක වෙන්න දෙන්න ඕන නෑ. ඒ නිසා ඒ පක්‍ෂය තහනම් කළා කියා ඔහු කියනවා. අපි එක ආයුධ කෑල්ලක්‌වත් අතට නොගත් කාලෙක 'ජවිපෙ සාමාජිකයන් මරනු, මරනු මරනු කියා තුන් වරක්‌ ඉංග්‍රීසියෙන් කිව්වා. මොකද්ද අපි කළ වරද. ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සාධාරණය උදෙසා සටන් කිරීම, ඉන්දීය ආක්‍රමණයට බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීම. ඒ අසූ නවයේදී. ඉතින් අරගලවලට එද්දී ඉතිහාසය එන්නේ එකම විදිහට. අපි ඉල්ලන්නේ මේ ඉතිහාසය දකින්න කියලා. ජනතාවට ඉතිහාසය බොරු නොකර ඒ අයිතිය ජනතාවට දෙන්න. අපි අපේ අඩුපාඩු ලියලම දෙන්නම්. මෙන්න මේ වරද වුණා කියලා. සිවිල් යුද්ධයක්‌ කියන්නේ සන්ධ්‍යා තේ පැන් සාදයක්‌ නොවේ. එහිදී වැරදි සිදුවෙනවා. විප්ලවවාදීන් අතින් වැරදි සිද්ධ වෙනවා. විප්ලවවාදීන් වරදක්‌ වුණාම ඒවා දකිනවා. මරණය නීත්‍යනුකූල නොවුණාට විප්ලවවාදීන් ඒ වරදත් දකිනවා. මර්දකයාත් අපිත් ඉතිහාසයෙන් යම් යම් දේ ඉගෙන ගෙන තියෙනවා. අපි අපේ පක්‍ෂය ප්‍රතිසංස්‌කරණය කර තිබෙනවා. ස්‌වයං විවේචනයක්‌ කර නිවැරැදි කර තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා අපට ඉගැන්වූ ආකාරයටම ඒ කටයුතු අප කළ නිසා 1994 දී අපි යළි රහසිගත දේශපාලනයෙන් ප්‍රසිද්ධ දේශපාලනයට එනවා. ඒ ආ මොහොතේ සිට අවුරුදුÊවිස්‌සකට විතර කිට්‌ටු වුණා. එය විප්ලවවාදී පක්‍ෂයක්‌ ලෙස අප ලැබූ ජයක්‌. අපිව මර්දනය කරන්න බැරි කරලා තිබෙනවා. ප්‍රශ්නය - හැත්තෑ එක වකවානුවේදී එවක අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ හොඳක්‌ ඔබ දැක්‌කෙම නැද්ද? පිළිතුර - අපෝ දැක්‌කා. එනිසා තමයි ඉතිහාසය හරියට කතා කළ යුතුයි කියන්නේ . එතුමියව අත්අඩංගුවට ගැනීමට සිටි කණ්‌ඩායමේ කෙනෙක්‌ මම. බණ්‌ඩාරනායක මහතාගේ දේශපාලන දැනුම සහ එතුමියගේ දේශපාලන දැනුම වෙනස්‌. ගෘහණියක්‌ එකපාරටම අගමැතිනිය වුණා. ඒ දේශපාලනය ඉගෙන ගෙන නොවේ. එතුමිය තමන් නොදන්න පැත්ත ගැන දැන හිටියා. එතුමිය ඉගෙන ගත් දේ තුළ තිබුණා තමන් දන්නා තරම ගැන. එම නිසා එතුමිය උපදේශකයන් තබා ගත්තා. සමහර උපදේශකවරු රටටආදරය කරන අය. ඒ උපදේශයන් අමතක කළ සෑම අවස්‌ථාවකදීම ඇය පරාජයට පත්වුණා. හොඳ විදේශ ප්‍රතිපත්තියක්‌ එතුමියට තිබුණා. එන්. කිව්. ඩයස්‌ මහතා එතුමියට උපදෙස්‌ දුන් එක්‌ අයෙක්‌. ඒ වගේම රටට ආදරය කරන උපදේශකවරු හිටියා. සිරිමා ශාස්‌ත්‍රි ගිවිසුමට අදාළ සාකච්ඡාවේදී අද වගේම ඉන්දියාව ආධිපත්‍යය පතුරුවන්න ගත්තා. මේ අය එක්‌ක සාකච්ඡා කරලා වැඩක්‌ නෑ කියලා එතුමිය සාකච්ඡා මේසයෙන් නැගිට ගියා. ඒවා අපේ රටට ගෙන ආ ජයග්‍රහණ. ජ. වි. පෙ මර්දනය කළා. ඇත්ත. ඒ ගැන අපි එතුමියට දෝෂාරෝපණය කරන ගමන්ම කියනවා ජවිපෙ නැගිටීම හේතුකරගෙන තමයි ඉඩම් ප්‍රතිසංස්‌කරණ ගෙන ආවේ කියා. එතුමියගේ කෘෂිකර්ම ඇමැති ඒ බව කිව්වා. අපිට ත්‍රස්‌තවාදීන් කියා කියූ කටින්ම එතුමිය කිව්වා. ජ. වි. පෙ මේ ළමයි රටටම ආදරය කරන අය. ඔවුන් නිදහස්‌ වී ආවාම පිළිගන්න කළ යුතු සැලකිලි කරන්න කියලා. ඒ වගේම ජ. වි. පෙ. සමග සාකච්ඡා කර එ. ජා. ප දුර්දාන්ත පාලනය නැති කළ යුතුයි කියා එතුමිය යෝජනා කළා. ඒ එකඟවීම හොඳ පැත්තක්‌. හැත්තෑ එකේ අප්‍රේල් 05 මාව අත්අඩංගුවට අරගෙන දවස්‌ දාහතරක්‌ පොලිසියේ තියාගෙන පහර දුන්නා. ඇඳුම් ඉරා දමා දිය යුතු වධ තිස්‌ දෙකම දීලා ලයිටර්වලින් පුච්චලා මාව අරලියගහ මැඳුරට රැගෙන ගියා. එදා ඇමැතිවරු ගණනාවක්‌ සමග අගමැතිනිය සාකච්ඡාවක්‌. ජ. වි. පෙ අය හිතන පතන ආකාරය තේරුම් ගැනීමට මේ සාකච්ඡාව පැවැත් වූ බව පසුව මම තේරුම් ගත්තා. පහර දී වධ දුන් සැකකරුවෙකු ලේ පෙරාගෙන තමන් ඉදිරියට ගෙන්වා ගැනීම රටේ පාලකයෙක්‌ නොකළ යුතු දෙයක්‌. ඒක වරදක්‌ . ඉන් තම තත්ත්වය රැකෙන්නේ නෑ. මෙය මම අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසමේ සාක්‌කි දෙමින් කියද්දී සම්භාවනීය පිරිසක්‌ පිළිබඳ ඉතා නරක අදහස්‌ ඇතිවන නිසා එහි සභාපති එච්. එන්. ජී. ප්‍රනාන්දු මහතා මට එය කියන්න ඉඩ දුන්නේ නෑ. අගමැති ප්‍රමුඛ ඇමැතිවරු හමුදාපතිවරු, පොලිස්‌පති එතැන හිටියා. එදා අරලිය ගහ මැදුරට මාව ගෙන්වූ අවස්‌ථාවේදී මට යමක්‌ බොන්න ගෙනැවිත් තිබුණා. ඒ මට ගෙනා භාජනවලම තමයි අගමැති සහ ඇමැතිවරුන්ටත් ඒ පානය ගෙන ආවේ. ඒක හොඳ දෙයක්‌. හිරකාරයටත් එසේ සැලකීම. මම ලේ පෙරමින් ඉතා අපහසුවෙන් හිටියේ. ඒ වගේම අප්‍රසාදයෙන් හිටියේ. මම බිව්වේ නෑ. අගමැතිනි ඇහුවා "ඇයි ඕක බොන්නෙ නැත්තේ. ඔය තේ නොවේ. ඔයාලා විරුද්ධ තේ වලටනේ ඕක කෝපි එකක්‌. බොන්න. බොන්න. කියලා. කටට පයින් ගහලා කට හැමතැනම තුවාල වෙලා මට කන්නත් බෑ. බොන්නත් බෑ. අනෙක මම ආවේ තේ පැන් සංග්‍රහයකට නොවේ කියා මම කිව්වා. ඉතිහාසය වෙනස්‌ වෙන හැටි බලන්න. ඊළගට දුර්දාන්ත ආණ්‌ඩුවක්‌ පෙරලන්න සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියට අප සමග එකට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. එහෙම සාකච්ඡා කරන්න එකඟවීමම ඇගේ වටිනා තීන්දුවක්‌. ඉතිං තවත් ඕනෑ තරම් කියන්න දේ තියෙනවා. දිග වැඩිවේවි. අනාගතයේ දවසක ලියමු. ඒ අපේ ලොකුකම කියන්න නොවේ. ඉතිහාසය නිවැරදි කළ යුතු නිසා. මම ඔක්‌කොම ඉදිරි දවසක කියන්නම්. යළිත් කිව යුතුයි මැතිනිය තමන්ගේ දේශපාලන දැනීමේ අඩුපාඩුව හොඳින් තේරුම් අරගෙන උපදෙස්‌ ගත් කෙනෙක්‌. ඇයව අමාරුවේ දැමූ උපදේශකවරුත් හිටියා. ඒක ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක්‌. ප්‍රශ්නය- ඔබ අදත් අපේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ සක්‍රීයව දායකව සිටින කෙනෙක්‌. මොහොතකටවත් හිතෙන්නේ නැද්ද එදා හැත්තෑ එකේදී කළේ අනවශ්‍ය අරගලයක්‌ කියා? පිළිතුර- නෑ. මම මොහොතකටවත් හිතන්නේ නෑ. ඒ බව මම කලින් කී දේවලින් තේරෙනවනේ. සමගි පෙරමුණ ආණ්‌ඩුවට ඡන්දය දෙන්න කියා ජ. වි. පෙ. කියද්දීත් ඔවුන් අපිට අංක එකේ හතුරු සී. අයි. ඒ. කෙමනක්‌ කියා කියනවා නම්, ඉන් පසුව ජ. වි. පෙ ට ඉතුරුව ඇත්තේ කුමක්‌ද? එක්‌කෝ නිවට ලෙස යටත් විය යුතුයි. ජ.වි. පෙ එදත් අදත් නිවට වෙන්නේ නෑ. එහෙම නම් මේ අසාධාරණයට විරුද්ධව නැගී සිටිය යුතුයි. සිවිල් යුද්ධය යනු තේ පැන් සංග්‍රහයක්‌ නොවේ කියා මම කිව්වේ ඒ නැගිටීමටයි. ජ. වි. පෙ. සීමාව ඉක්‌මවා යැම ගැන කතා කරනවා නම් පක්‍ෂ දෙකේ ආණ්‌ඩු දෙක කළ සීමාව ඉක්‌මවා යැම් සමග තබා කතා කරන්න. එවිට ජ. වි. පෙ. සීමාව ඉක්‌මවා යාම කතා නොකළ යුතු තරමටම සුළු දෙයක්‌. මේ නැගිටීමේදී ජ. වි. පෙ. කීදෙනෙක්‌ ඝාතනය වුණාද? පාලක පන්තිය පැත්තෙන් කී දෙනාගෙද ජීවිත නැති වුණේ. මේක සැසඳිය යුතුයි. එවිට ඒ අවස්‌ථා දෙකේදීම ජ. වි. පෙ. සහ ආණ්‌ඩුවල තත්ත්වය වටහාගන්න පුලුවන්. කොළඹට පෙළපාළි ආ නිරායුධ ජනතාව 140 ක්‌ එජාපය අමු අමුවේ මරා දැමූ පසු ජනතාවට, ජ. වි. පෙ. ට මොනවද ඉතිරි කළේ. කොහොම වුණත් 94 සිට මේ දක්‌වාත් අපේ අය ඝාතනය කර තිබෙනවා. හැත්තෑ එකේ සිටි තත්ත්වයට වඩා අපි අසූ නවයේදී වෙනස්‌. අද අපි කොතරම් ඉහළට ඇවිත්ද?. පරිනත වී සිටිනවාද...... පරෙස්‌සම් වෙනවද. ප්‍රශ්නය- ඒ යුගවලට සාපේක්‍ෂව අද දේශපාලන, සමාජ පරිසරය යහපත්ද? පිළිතුර- නෑ. පැහැදිලිවම නෑ. අපේ අරමුණ වුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය. ඉතිහාසයේ මෙතෙක්‌ නොවූ පරිදි අද රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය අහිමි වී තිබෙනවා. හැත්තෑ එකේ අරගලය නිසා තමයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න හැකි වුණේ. අපට කළ චෝදනාව තමයි රැජිනගේ ආණ්‌ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම. ඒක එහෙම නම් රටේ නිදහස උදෙසා අවිගත් දේශප්‍රේමීන් ලෙස අපි ඉතිහාසගත වෙනවා. ඉන්පසු තමයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සිද්ධ වුණේ රැජිනගේ ආණ්‌ඩුව ජනරජයක්‌ බවට පත් කිරීමට. ඉඩම් පනත ගෙනාවෙත් අපි නිසා විධායක ජනපති ධුරයට අපි විරුද්ධ වුණා. ස්‌වාධීන මැතිවරණ කොමිසම, පොලිස්‌ කොමිසම, ගුවන් සේවා කොමිසම ඇතුළු දාහත්වැනි සංශෝධනය ගෙනාවේ අපි නිසා ඔන්න ප්‍රගතිශීලී ප්‍රතිසංස්‌කරණ. ජ. වි. පෙ. බලයට ගෙන එන්න ඒ කරුණුම ඇති. මේවා පිටුපස සිට දැවැන්ත බලය ජ. වි. පෙ යන්න ඔවුන් සඟවනවා. එනිසා ජීවිත පරිත්‍යාග කළ සෑම සහෝදරයෙකුටම ගරු කළ යුතුයි. සදා සැමරිය යුතුයි. හැත්තෑ එක, අසූ අට, අසු නමය අරගලවලට සහභාගී වූ අය ගැන අපි තනි තනිව කතා කරලා නෑ. ඒ අය ගැන සංවාදයක්‌ කළ යුතුයි. ඔවුන් සිහි කළ යුතුයි. ඒ ජීවිත පරිත්‍යාග කළ අයගේ පවුල් නගා සිටුවීමට ආණ්‌ඩුව වන්දි ලබා දිය යුතුයි. ප්‍රශ්නය- ජ. වි. පෙ එදා වගේම අදත් විප්ලවීය ගුණය තියෙනවාද? පිළිතුර- ඔව්...... පැහැදිලිවම...... විප්ලවීය ගුණය එක්‌ එක්‌ තත්ත්වයන් තුළ ඉහළට මතු වූ හැටි මම පැවසුවා. හොඳම හොඳ නිත්‍යානුකූල අදූෂිත සංවිධානයක්‌ ලෙස විප්ලවීය ගුණය හොඳින්ම තියෙනවා. සාමකාමී නිසා ජ. වි. පෙ. විප්ලවවාදී නෑ කියා සමහරු කියනවා. විප්ලවවාදීන් තරම් සාමකාමී අය ලෝකයේ තවත් නෑ. තම සාමාජිකයා මරණයට පත් කරද්දී එය දරාගත හැකි, ඊට එරෙහිව ඉවසීමෙන් උද්ඝෝෂණය කළ හැකි තැනක ජ. වි. පෙ පිරිස සිටිනවා. එය විශාල ජයක්‌. අපි අපේ ජනතාව උදෙසා කැපවී සිටිනවා. එනිසා තමයි ඉක්‌මනින්ම ජ. වි. පෙ. බලයට පත් කර ගත යුත්තේ. එහෙම වුණොත් ජනතාවට හොඳක්‌ වේවි. මෙතරම් ප්‍රමාදවීම ගැන එදාට කණගාටුවන ජනතාව බලයට පත් කර ගැනීම ගැන සතුටු වේවි. ප්‍රශ්නය - අවසන් වශයෙන් කියන්න.... පක්‍ෂයේ නායකත්වයේ හිටියා ඇති කියා හිතෙන්නේ නැද්ද? පිළිතුර- (සිනාසෙමින්) නායකත්වය ගැන අපේ පක්‍ෂය ගැන මෙතරම් විශාල පිරිසක්‌ සහ මාධ්‍ය අවධානයෙන් සිටීම ගැන ස්‌තූතියි. ඒ කියන්නේ අපි ගැන සොයා බලනවා කියලනේ. දිගටම සොයා බලන්න. විප්ලවය කියන්නේ දිගු ක්‍රියාවලියක්‌. ජීවිතය කෙටියි. ඒ කෙටි ජීවිතයේ අවසාන භාගය තරුණ කාලේදී කළ දේ කළ නොහැකි කාලයක්‌. ඒ වුණත් විප්ලවවාදියෙකුට අවසන් හුස්‌ම හෙළන මොහොත දක්‌වාම කළ හැකි දෙයක්‌ තිබෙනවා. අවසන් මොහොත දක්‌වා විප්ලවීය ගායක්‌ තියෙනවා. ඒ ගාය ඉටු කිරීමට විප්ලවවාදියා සූදානම්. ජීවිතය අවසාන භාගයේදී සිදුවිය යුතු වෙනස්‌ කම් එසේම සිදුවිය යුතුයි. අපිට හොඳ ආදර්ශ තිබෙනවා. පිදෙල් කැස්‌ත්‍රොa ඊයේ පෙරේදා ඒ ගැන කිව්වා. සමහරු රෝද පුටුවේ ඉඳගෙන නායකත්වය දෙන්න, සමහරු ජනාධිපතිකමේ සදාකල්ම රැඳී ඉන්න හදනවා. නම අමරසිංහ වුණාට එයත් මැරෙනවා. ඒක එයාත් දැනගත යුතුයි. පක්‍ෂයත් දැනගත යුතුයි. ඒ අනුව කටයුතු සිද්ධ වෙනවා. පුද්ගලයෝ මැරෙනවා. ඒත් පක්‍ෂය මැරෙන්නේ නෑ. පක්‍ෂයක සාමාජිකයෝ කිසියම් කලකදී ඔවුන්ගේ වැඩ දක්‍ෂතා අනුව නායකත්වයට පත් කර ගන්නවා. ඒ වගේම ඒ නායකයෝ නිසි කල පැමිණි විට නැවතත් නායකත්වය අතහැර සමාජගත බවට පත්ව තමන්ට හැකි හා සුදුසු කටයුතු කළ යුතුයි.

No comments:

Post a Comment