Monday 1 April 2013

ආණ්ඩුව සත්‍යය වළලන්න හදනවා. විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයක් ඕනෑ - ජවිපෙ

මෙරට ඉතිහාසයේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මනීවල වන මාතලේදී හමුවූ මිනීවළ සම්බන්ධ සත්‍ය වසන් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නා බවත් මේ සම්බන්ධයෙන් විශේෂ අධිකරණ කි‍්‍රයාදාමයක් අවශ්‍ය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (01) පසුවරුවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවේදී පැවසීය. එහිදී ටිල්වින් සිල්වා මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ. "මාතලේදී හමුවූ සමූහ මිනී වළ පිළිබඳව නොවැම්බර් මාසයේදී මුල්ම හෙළිදරව්ව සිදුවීමෙන් පසු මාර්තු 17 දිනදී මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාවක් එළි දැක්වුණා. අධිකරණයත් වෛද්‍ය වාර්තා මගිනුත් මේ සම්බන්ධ හෙළිදරව් කිරීම් කළා. අධිකරණය විසින් තීන්දු කළා එහිදී හමුවූ මිනිස් ඇට කැබළි කොටස් 86-89 කාලයට අයත් වන බව. ඒත් සමග අප කාටත් ඒ පිළිබඳ සැකයක් ඉපදී තිබුණේ නම් එම ඇට සැකිළි අයත් කාලය පිළිබඳ සැකය දැන් අවසන් වී තිබෙනවා. මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 86-89 කාලවලදී මරණයට පත්වූවන්ගේ කොටස් බව නිශ්චිතවම කියලා තිබෙනවා. ඔබ දන්නවා 88-89 කාලය තුළ මහා දැවැන්ත මර්දනයක් සිදු වුණා. එහි ප‍්‍රතිඵල තමයි මේ මතුවෙලා තිබෙන්නේ. මේ පිළිඳව ආණ්ඩුව නිහඬ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ දැරුවේ මෙය යටපත් කිරීමටයි. මෙය ඉතා අහම්බයෙන් මතුවූ දෙයක්. මාතලේ රෝහලට ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කරන ලද කැනීමකදී තමයි මෙය මතුවූයේ. නමුත් ආණ්ඩුව මෙම කැනීම් නවතා මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළත් අධිකරණ නියෝගයක් අනුව දිගටම කැනීම් කරන්න සිදුවුණා. අපි මීට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියා මේ පිළිබඳව පරීක්‍ෂණයක් අවශ්‍යයි කියලා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා උත්සාහ කළේ මෙය ඉතා ඈත කාලයක සිදුවූවක් බව කීමටයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ 1940 ගණන් වලදී සිදුවූ නාය යෑමක් නිසා මරණයට පත්වූවන්ගේ කොටස් බවයි. නමුත් එම සමූහ මිනී වළෙන් හැට ගණනන් වලට අයත් කාසියක් මතුවීමෙන් එම උත්සාහය අසාර්ථක වුණා. ආණ්ඩුව විටෙක වසූරිය රෝගය නිසා මිය ගිය පිරිසක් බව කියන්න උත්සාහ කළා. සත්‍ය යටපත් කරලා මෙම සිද්ධියෙන් පළා යාමටයි ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කළේ. ඉතිහාසයේ මෙතෙක් හමුවූ විශාලතම සමූහ මිනී වළ මාතලේ මෙම සමූහ මිනී වළයි. කැනීම්වලදී ඇට සැකිලි 154ක් සහ හිස් කබල් 81ක් සොයාගෙන තිබුණා. මොවුන් ඉතා කෲර ලෙස වධහිංසා පමුණුවා මරා දමා ඇති බවට පරීක්‍ෂණවලදී හෙළි වුණා. එම සමූහ මිනී වළෙන් වයර්, කම්බි කැබලි, ප්ලාස්ටික් කොටස් හමුවුණා. හිස් කබල්, කියත් වැනි උපකරණවලින් ඉරා තිබුණු බවත් හිස් කඳින් වෙන්කර ඇති බවත් අතපය කඩා දමා ඇති බවත් පරීක්‍ෂණවලදී හෙළි වුණා. ශරීර 154ක් හමුවූවත් හිස් කබල් තිබුණේ 81ක් පමණයි. සමහරු ඝාතනය කරලා හිස කඳින් වෙන් කරලා වළදමා ඇති බව මින් තහවුරු වෙනවා. ඒ දවස්වල පාරවල්වල මිනිස් හිස් ප‍්‍රදර්ශනයට තබාතිබුණු බව ඔබ දන්නවා. මිනිසුන් 154ක් මෙසේ ඝාතනයට ලක්කර තිබෙනවා නම් එය අතිශය බරපතළයි. එසේ තිබියදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිම කි‍්‍රයාමාර්ගයක් ගන්නේ නැහැ. ආණ්ඩුව මෙය වළලා දමන්න කැමැතියි. මෙය හමුවීම ගැන ආණ්ඩුව ඉන්නේ ඉතාමත් කණස්සල්ලෙන්. මේ ආණ්ඩුව එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක නායක්තවය දෙමින් 1994දී මැතිවරණයේදී 88-89 දී ඝාතනයට ලක්වූවන්ගේ පවුල්වල ඡන්ද දිනාගැනීම වෙනුවෙන් එම ඝාතනයන් ගැන කිඹුල් කඳුළු සැලුවා. සූරියකන්දෙත් මිනී වළවල් හෑරුවා. මව් පෙරමුණු හැදුවා. ඡන්ද පෙළපාලි ගියා. එවකට මන්තී‍්‍රවරයෙකුව සිටි මහින්ද රාජපක්‍ෂ මානව හිමිකම් කොමිසමට පැමිණිළි කළා. ඒ සියලු දේ කළේ ආණ්ඩුවට බලය ලබාගැනීමටයි. ඒ වෙනුවෙන් එ.ජා.ප.යට විරුද්ධව ඉහත කී සියලු දේ කළා. වර්තමානයේ ඒ උදවිය බලයේ ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ දැන් රටේ ජනාධිපතිවරයා. 1994 කාලයේ ඇත්තටම තිබුණේ මානව හිතවාදීත්වය නම් ආණ්ඩුවට දැන් හොඳම අවස්ථාව උදාවෙලා තිබෙනවා. ආණ්ඩුව, ජනාධිපති, අධිකරණය සියල්ල අතේ තිබෙනවා. එම ඝාතනය මහ පොළොව නුහුලන සිදුවීමක්. මෙසේ ඝාතනයට ලක්වී තිබෙන්නේ රටට ආදරය කරපු මිනිසුන්. ඉන්දීය ආක‍්‍රමණයට එරෙහිව සටන් කළ මිනිසුන්. තමන්ට බලය ලබාගන්න කිඹුල් කඳුළු හෙළපු ආණ්ඩුව දැන් ඉන්නේ නිහඬ ප‍්‍රතිපත්තියකයි. ඒ නිසා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. ඒ කාලයේ බලයේ හිටියේ යූ.ඇන්.පී. ආණ්ඩුවයි. එහෙත් එම ප‍්‍රදේශය බාරව සිටි දේශපාලඥයින් දැන් ඉන්නේ ආණ්ඩුවේ. එනිසා ආණ්ඩුවට මේ පිළිබඳව පරීක්‍ෂණ කිරීමේ වුවමනාවක් නැහැ. මොකද වර්තමානයේ එ.ජා.ප.ය. ආණ්ඩුවට සහාය ලබාදෙමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව යූ.ඇන්.පි.යට කළගුණ සලකමින් ඉන්නවා. එකළ එ.ජා.ප.යේ සිටි වැඩි පිරිසක් ඉන්නේ දැන් ආණ්ඩුව ඇතුළේමයි. එවකට හමුදාව භාරව කටයුතු කළ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ නිළධාරියා වූයේ ඝෝඨාභය රාජපක්‍ෂ බව නියෝජ්‍ය ඇමති නන්දිමිත‍්‍ර ඒකනායක කියා තිබුණා. ඒ වගේම ඝෝඨාභය රාජපක්‍ෂ පිළිබඳව කෘතියක් වන ‘ඝෝටාස් වෝ’ සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම නිශ්චිතව සඳහන් කොට තිබුණා 1989 ගෝඨාභය රාජපක්‍ෂ මාතලේට කැඳවා හමුදාව ඔහුට භාර කළ බව. ඒවගේම එම ප‍්‍රදේශයට විශේෂ හමුදා මැදිහත්වීමක් සිදුකළ බවත් ආරක්‍ෂක අංශයේ නිළධාරීන් වූ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස් යන අය මේ කාලය තුළ මාතලේ සේවය කළ බවත් එහි සඳහන්. ඒනිසා මේ අය ජීවතුන් අතර ඉන්න උදවිය. මේ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකරන තෙක් හැම බලපෑමක්ම අපි ආණ්ඩුවට කරනවා. අවස්ථා කිහිපයකදී අපි ආණ්ඩුවට බල කළා මේ මිනී වළේ වළදැමූ අය කුමණ කාලයකට අයත්ද? ඔවුන් ඝාතනයට ලක්වුණේ කොහොමද යන්න නිශ්චිතව රටට හෙළි කරන්න කියලා. දැන් වෛද්‍ය වාර්තා මගින් ඔප්පු වී තිබෙනවා, ඒවා 86-89 කාලවලට අයත් බවත් ඔවුන් වධ දී මරා තිබෙන බවත්. ඒ නිසා මෙම ඝාතන පිළිබඳව විශේෂ අධිකරණයමය කි‍්‍රයාදාමයක් ආණ්ඩුව ආරම්භ කළ යුතුයි. එම අධිකරණමය කටයුතු සඳහා එවකට යූ.ඇන්.පී. දේශපාලන නායකයෝ, එවකට මාතළේ සිටි දිසාපතිවරු, ග‍්‍රාමසේවකයින් වැනි පරිපාලන නිළධාරීන්, ඒ වගේම ආරක්‍ෂක අංශ භාර නිළධාරීන් සහ මාතලේ ජනතාව සාක්‍ෂිකරුවන් ලෙස කැඳවිය යුතුයි. මෙය යට ගහන්න නොදී මෙම කි‍්‍රයාදාමය ආරම්භ කරන තෙක් අපි ආණ්ඩුවට බලපෑම් කරනවා. ඒ වගේම මෙම ඝාතනයන්ට ලක්වූ එවකට අතුරුදහන් වූවන්ගේ තොරතුරු සෙවීම සඳහා අප විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. මාතලේ ජනතාවට කියනවා ඒ වෙනුවෙන් තමන් දන්නා සියලු තොරතුරු අපවෙත ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙම පරීක්‍ෂණ සඳහා උපයෝගී කරගත හැකි සියලු තොරතුරු සොයාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනවා. පසුගිය කාලයේ ඩලස්ලා, ඩිලාන්ලා, මේ අතුරුදහන් වූවන් ගැන කථා කළා. කඳුළු සැලුවා. නමුත් මේ අය දැන් නිහඬ වෙලා. ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති කිසිවක් දැනෙන්නේ නැති අය වගේ ඉන්නවා. මියගිය අය විකුණං කාපු අයට සදාචාරයක් තිබෙනවා මේ වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වගේම මේ මොහොතේ ජනමාධ්‍යවලට විශේෂ ස්තුතියක් කරන්න කැමතියි, ආණ්ඩුවට මේ සිද්ධිය යට ගහන්න බැරි වුණේ ජනමාධ්‍ය මගින් මේ සම්බන්ධව වරින් වර වාර්තා කළ නිසයි." මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික නලින්ද ජයතිස්ස මහතාද සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment