Monday 1 April 2013

මහින්ද චින්තනය දැන් දූෂිත කි‍්‍රයාවන්ට සහාය ලබාදෙනවා - AIPM

"මහින්ද චින්තනය දැන් දූෂිත කි‍්‍රයාවන්ට සහාය ලබාදෙනවා" යැයි අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ (AIPM) සම කැඳවුම් කරු පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් පවසනු ලැබීය. උන්වහන්සේ මේ බව පැවසූවේ අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය විසින් අද (01) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි. එහිදී අමිල හිමියන් විසින් දැක්වූ අදහස් පහත පළවේ. "රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ආන්දෝලනාත්මක දෙයක් බවට පත්වෙලා තිබෙනවා. දැන් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ සංචාරක කර්මාන්තයයි. ආණ්ඩුව ක්ෂිතිජයට ඉහලින් ලෝකය දකින්නා නිර්මාණය කරන්න යන්නේ සංචාරක කර්මානතය හරහායි. සංචාරක ව්‍යාපාරය හා බැඳුණු සුරාව, සූදුව, කැසිනෝ සඳහා යටිතල පහසුකම් ලබාදීමේ ස්ථාවරයට ආණඩුව පැමිණ තිබෙනවා. ඒ නිසා ප‍්‍රබල කැසිනෝ රජෙකු ලංකාවට ගෙන්වා ගැනීමට ඔහු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය විදියට මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු දෙකක් නිසා අපේ විරුද්ධත්වය පළකරනවා. පළවෙනි එක තමයි ලෝකයේ කැසිනෝ මධ්‍යස්ථාන පදනම්කරගෙන තමයි, රටක ආණ්ඩු පළවා හැරීම්, ගෙන්වා ගැනීම් සඳහා සාකච්ඡා කුමන්ත‍්‍රණ කිරීම් සිදුවන්නේ. 90 දශකයේ නැගෙනහිර ආසියාවේ රටවල් බිඳවැටෙන විට ඒ පිටුපස සිටියේ ජාවාරම්කරුවොයි. කොටස් වෙළඳපොල, රටේ ආර්ථිකය බිඳ දැමීමට ජාවාරම්කරුවෝ කුමන්ත‍්‍රණ කළා. එම ජාවාරම්කරුවන් රැස්වෙන මධ්‍යස්ථාන බවට මෙම කැසිනෝහල් යොදාගන්නවා. අධාර්මික, කුප‍්‍රකට ජාවාරම්වලට පක්‍ෂපාතීවන පාලනයන් ආරක්ෂා සඳහා ඔවුන් ඕනෑතරම් මුදල් වියදම් කරනවා. එවැනි ජාවාරම්වලට විරුද්ධ පාලනයන් විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයන් සිදුකිරීමටත් ඔවුන් අතිවිශාල මුදල් සම්භාරයක් යොදවනවා. රටේ ජනයාට හිතෛෂී ආණ්ඩුවක් නම් එය කැසිනෝ හිමියන්ට නරක නම් කැසිනෝ ජාවාරම්කාරයින්ගේ වුවමනාවන් ඉටුකරන්නේ නැතිනම් එම පාලනය ඔවුන්ට අසුභ ලෙස දකිනවා. යම් පාලනයක් කැසිනෝ ව්‍යාපාරිකයින්ට අසුබ නම් ජනතාව දෙස නොබලා එය පළවා හැරීමට ඕනෑම කුමන්ත‍්‍රණයක් කරන්න ඔවුන් පෙළඹෙනවා. අපේ රටේ පාලනය ගැන තීරණ ගැනීමේ බලය රටේ සුජාත දරුවන්ට අහිමි කරමින් එය කැසිනෝ ජාවාරම්කාරයින්ට ලබාදීමේ මෙම ව්‍යාපෘතිය අපි හෙළා දකිනවා. එවැනි දේ හරහා රටට අති දැවැන්ත තර්ජනයන් ඇතිවෙලා තිබෙනවා. රටට කරන්න පුළුවන් ලොකුම අනතුර එයයි. දෙවැනි කාරණය අපේ රටේ සංස්කෘතියට, හර පද්ධතියට වන හානිය. බුද්ධාගම, හින්දු ආගම, සහ අනෙකුත් ආගමික පූජකයින් දේශනා කරන මූලධර්මවලට විරෝධී කැසිනෝ ව්‍යාපාර හරහා මත් ද්‍රව්‍යවලට, ගණිකා වෘත්තීයට, අපරාධවලට සරු පොළවක් මේ පාලකයින් හදා දෙනවා. දේශපාලකයින්ගේ පුත‍්‍රයන්ගේ පොර පිටි බවට මෙම කැසිනෝ මධ්‍යස්ථාන පත් වෙනවා. බුදුරජානන් වහන්සේ වසළ සූත‍්‍රයේදී, පරාභව සූත‍්‍රයේදී සුරාවෙන් සූදුවෙන් වන හානිය පෙන්වා දුන්නා. රජය ලෙස මහින්ද චින්තනය අනුව මතට තිත ඉදිරියට ගෙනෙමින් හිටියා. රටේ ජනාධිපතිවරයා රුහුණුපුරේ දේශපේ‍්‍රමී, සිංහල බෞද්ධකම ඉදිරියට ගනිමින් සුදුසු තැන්වල නිසි මාත‍්‍රාවට එය යොදා ගනිමින් හිටියා. නමුත් මෙම දූෂිත කි‍්‍රයාවන්ට දැන් මහින්ද චින්තනය සහාය ලබාදෙමින් සිටිනවා. මෙය රටකට විනාශය කැන්දවීමක් හැටියට තමයි අප දකින්නේ. අනෙක් කාරණය තමයි රටේ ආගම්වාදී, ජාතිවාදී, මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් විසින් කරනු ලබන කෝලාහල. එම කෝලාහලවලට මෙරට පාලකයින් යටිතල පහසුකම් සපයමින් ඉන්නවා. උදව් උපකාර කරමින් ඉන්නවා ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකරන ආණ්ඩුව නිසා මාතෘභූමිය විනාශයකට ගමන් කරනමින් තිබෙනවා. 83 වැටුනු වලේ නැවත වරක් වැටීමේ අවදානම මතුවෙලා තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය විනාශ කරන තත්වයක් උදානොකරන ලෙසත් බටහිරට අවි නොසැපයිය යුතු බවටත් අපි මීට පෙර අනතුරු ඇගෙව්වා. නමුත් ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු කළේ නැහැ. දැන් හිටි ගමන් රටේ ජනාධිපතිවරයා කියන්න පටන් අරගෙන තිබෙනවා සිංහල, දෙමළ, මුස්ලිම් සමගියට බාධාවන දේවල් කරන්න එපා කියලා. අපි කියනවා ජනාධිපතිවරයාට කණ්නාඩිය ඉදිරිපිටට ගිහිල්ල බලන්න කියලා. අපි අනතුරු ඇෙඟව්වා ගෝති‍්‍රක, කල්ලි කණ්ඩායම්වල හැසිරීම් ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ පිළිබඳව කිසි කෙනෙක් කථා නොකරන මොහොතේ අපි ඒ බව කියා සිටියා. එම ව්‍යසනකාරි තත්වය ඒ විදියටම අද සිදුවෙමින් තිබෙනවා. විවිධ අකාරයේ බලසේනා නමින් එන්නේ අධිරාජ්‍යවාදීන්ට සහාය දෙන අවජාතක උපතක් කියලා අපි කියා සිටියා. සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය කඩන අධිරාජ්‍යවාදීන්ගේ දෙවන ව්‍යාපෘතිය කියලා අපි කිව්වා. ඒවා නොදන්නවා වගේ මේ ව්‍යසනය සිදුවෙන්නට හැරලා බලාගෙන හිටියා. ඉදිරි මැතිවරණවලදී සිංහල බෞද්ධ ඡන්ද ටික කඩාගන්න එම බළසේනා හරහා ලකුණු දමාගන්න මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන ගියා. හරි හැටි සමාජ හැසිරීමක් නැති අධ්‍යාපනයන් නැති කල්ලියක් විසින් මෙහෙයවන ත‍්‍රස්තවාදීන් බවට මෙම කණ්ඩායම පත්වී තිබෙනවා. ත‍්‍රස්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් ලෙස මුස්ලිම් සහෝදරවරුන්ගේ ව්‍යාපාරික ස්ථානවලට පහරදෙමින් සිටිනවා. චීවරධාරීන් සී.සී.ටී.වී. කැමරාවලට ගල් වලින් පහර දෙනවා ඔබ මාධ්‍යවලින් දුටුවා. එපමණක් නොවෙයි, මාධ්‍යවේදීන්ට ඔළු පැලෙන්න පහර දුන්නා. විවිධ පුද්ගලයින්ගේ කුප‍්‍රකට අරමුණු ඉටුකරගැනීම සඳහා මෙම කල්ලි කණ්ඩායම් පාවිච්චි කරගනිමින් ඉන්නවා. දැන් ඔවුන්ගේ සීමාව ඉක්ම ගිහින්. හදපු අයටම පාලනය කරගන්න බැරි තත්වයක් උදා වෙලා. අන්තවාදී ජාතිවාදී ප‍්‍රශ්නයක් එවැනිම ජාතිවාදයකින් පරාජයට කරන්න බැහැ. දේශපාලන බලයක්, හයියක් නැත්නම් කොහොමද කියන්න පුළුවන් රටේ නිල නොවන පොලීසිය බවට පත්වෙනවා කියලා. එනිසා අපි මුස්ලිම්, සහෝදරත්වයට කියනවා ඉතා ඉවසීමෙන් මෙම ආගමික අන්තවාදීන්ගේ කි‍්‍රයාවලට මුහුණ දෙන්න කියලා. අන්තවාදීන්ට වැඩි දුරක් යන්න බැහැ. පාරාජිකා වූ අයට පැවැත්මක් නැහැ. යුක්තිය ධර්මය, සාධාරණත්වය මේ අය තුළ නැහැ. ඔවුන්ගේ සිත්තුළ තිබෙන්නේ වෛරී සහගත ආකල්ප පමණයි. ඔවුන්ගේ පන්සල් තුළ ඇත්තේ වෛරය පමණයි. වී වපුරා කොස් බලාපොරොත්තු විය නොහැකිවා වගේම මෙය වපුරන අන්තවාදයෙන් සුබ දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔවුන්ගේ උත්සවවලට සහභාගි වුනා. ඔවුන්ගේ මධ්‍යස්ථාන විවෘත කළා. ඔවුන්ට සුදු හුණු ගෑවා. ඔවුන් සුජාතකරණයට ලක්කළා. අන්තවාදී ත‍්‍රාඩ රැළ ශික්‍ෂණය නොලබා සිදුකරන හැසිරීම්වල වගකීම ආරක්‍ෂක ලේකම්වරයා බාරගත යුතුයි. රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ආරක්‍ෂක ලේකම්වරයා රටේ ජනාධිපතිවරයා ප‍්‍රශ්න කිරීමේ හැකියාව අපිට තිබෙනවා. ඔවුන් එම ප‍්‍රශ්නකිරීම්වලට පිළිතුරු ලබාදිය යුතුව තිබෙනවා. ඒක අපේ අයිතියක්. එනිසා අපි ආණ්ඩුවට කියනවා රට ජාතිය විනාශ කරන තවත් ම්ලේච්ඡු යුද්ධයකට පාර නොකපා මහජනයා සමඟ තමන්ගේ ප‍්‍රතිපත්ති පිළිබඳ විවෘත සංවාදයකට එන්න කියලා. තමන්ගේ නොහැකියාව අශිෂ්ඨ කම වසාගන්න මෙවැනි පහත් දේ නොකරන ලෙසත් එම පහත් දේවල් කරමින් තමන් පුනරුත්ථාපනය වනවා වෙනුවට පුටුවෙන් බැහැලා යන එක ඉතා දේශපේ‍්‍රමී යැයි අපි කියනවා. බලසේනා කෙසේ කීවත් රටේ සිංහල බෞද්ධ ජනතාව 74.9%ක් ජීවත් වෙනවා. ඔවුන් ඇත්තටම පෙනී ඉන්නේ එම 74.9%ක් වූ සිංහල ජනතාව වෙනුවෙන් නම් අපි කියනවා අන්‍ය ආගමිකයින්ට පහර දෙනවා වෙනුවට අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන්කර ගැනීමේ සටන වෙනුවෙන් එම බොදු හඬ අවදි කරන්න කියලා. දඹුල්ලේදී එළවලු කිලෝ හතලිස් දාහ, පනස් දාහ විනාශකර දමනවා වෙනුවට එළවලු මිලදී ගන්න නිසි ක‍්‍රමවේදයක් හදන්න කියලා මේ බලසේනා යෝජනා කරනවද? වී ගොවියා සියදිවි නසාගන්නා තත්වයක් උදාවෙලා. ලංකාව මත්පැන් පානයෙන් ලෝකයේ 4 වෙනි තැනට පත්වෙලා. ගර්භනී මාතාවන් 48%ක් රක්තහීනතාවයෙන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පන්සල් 600ක් වැහිලා ගිහිල්ලා. ඉන්දියාවට තෙල් නිධිවලින් 90%ක් ලබාදෙවා. එම කිසිදු ප‍්‍රශ්නයකට මෙම බලසේනා ඉදිරියට එන්නේ නැහැ. ඒ ගැටළුවලට සිංහල, බෞද්ධ ජනතාවම අපේ ජනගහනයෙන් 74%ක් මුහුණ දෙනවා. එම ගැටළුවලට මැදිහත් වෙනවා නම් සිංහල බෞද්ධ ජනතාවට එයින් සහන සැලසෙනවා. එල්.ටී.ටී.ඊ යුද්ධයේදීත් ජිනීවා ප‍්‍රශ්නයේදීත් අපිට සහාය ලබාදුන්නේ මුස්ලිම් රටවල්. මෙම අන්තවාදී කණ්ඩායම ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් ඉටුකරන කෙක්කක් බවට පත්වී තිබෙනවා. කාගේ හරි වුවමනාවන් ඉටුකරන කොන්ත‍්‍රාත් ඉටුකරන කණ්ඩායමක් බවට පත්වී තිබෙනවා. එනිසා මහා නාහිමිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මෙම පිළිකාව ඉවත් කිරීමට සමාජ දේශපාලන ධාරාවෙන් ඉවත් කර දමන්න මැදිහත් වෙන්න කියලා. මෙම ව්‍යසනය දෙස බලා නොසිට ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ජිනීවා හමුවේදී ලංකාව තනි රටක් බවට පත් වී තිබෙනවා. ලංකාවේ පාලකයින් හිතාගෙන ඉන්නේ ලෝකය තිබෙන්නේ ලංකාව ඇතුළේ කියලයි. රොබින්සන් කෲසෝ වගේ රටකට පාඩුවේ ඉන්න හැකියාවක් නැහැ. රටවල් සමඟ රාජතාන්ත‍්‍රික හැසිරීම හොඳ මට්ටමින් පවත්වාගෙන යා යුතුව තිබෙනවා. ජුලම්පිටියේ අමරේ වැනි මැරයින්ගේ චරිත රඟපාලා රටවල් සමඟ ගනුදෙනු කරන්න බැහැ. ලංකාවේ මේ හැසිරීම නිසා දැන් රට පරිවාසයකට යටත් කොට තිබෙනවා. එනිසා ආණ්ඩුව කළ යුත්තේ දියුණු රාජතාන්ත‍්‍රික ගනුදෙනු රටවල් සමඟ ගොඩනගාගන්නා එකයි. තමිල්නාඩුව මෙවැනි තත්වයවකට පත් කිරීමට යටිතල පහසුකම් සැපයූවේ ලංකාවේ ආණ්ඩුවයි. යුද්ධයෙන් වසර 4කටත් පසුව ජාතිවාදී, ආගම්වාදී අවස්ථාවන්ට ඉඩ පහසුකම් හදලා දුන්නා. එම වපුරපු බීජවලට අනුව දැන් පළ ලැබී තිබෙනවා. රට පාලනය කරන පාලකයින් බොරුවෙන් රට පාලනය කළයුතු නැහැ. දැන් ආණ්ඩුව පුනරුත්ථාපනය විය යුතුයි. අඳුරෙන් එළියට පැමිණිය යුතුයි. තව තවත් රට අඳුරට, අවිද්‍යාවට මිත්‍යා දෘෂ්ටියට, ගෝති‍්‍රක සමාජයකට ගෙන යනවා වෙනුවට නිසි පාලනයක් ස්ථාපිත කළ යුතුයි එසේ නොවෙනවා නම් රටේ දේශප්‍රෙමී ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා එවැනි ආන්ඩුවක් ගෙදර යැවීම සඳහා තමන්ගේ කාර්යභාරය ඉටුකරන ලෙස. ඒ වගේම මේ රටේ මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා මෙම ජාතිවාදී කෝලාහල ඇතිවෙන විධිහේ ප‍්‍රචාරයන් නොකර ඒවා සමනය වන විධියේ ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස. පසුගිය කාලයේ බල සේනාවල සමුළු උත්කර්ෂයට නංවමින් ප‍්‍රචාරය කිරීමේ අනිටු ප‍්‍රතිඵල දැන් උදාවී තිබෙනවා. එනිසා අද මාධ්‍ය ආයතනයක සහෝදරයෙකුටත් එහි වනිදිය වෙන්නට සිදුවී තිබෙනවා. මාධ්‍යවේදීන් යම් කාර්යභාරයක් මෙම ජාතිවාදය, ආගම්වාදය වැපිරීමට එරෙහිව සිදුකළා. එම ක‍්‍රියාමාර්ග ඉදිරියටත් ගෙනයන ලෙස අපි ඉල්ලා සිටිනවා." මෙම අවස්ථාවට අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ විධායක සභික ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාද සහභාගීවී සිටියහ.

No comments:

Post a Comment