Tuesday 30 April 2013

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවුඩය

අද ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. මැයි දිනයේ ඉතිහාසය යනු පැය 08කට සීමාවූ වැඩ දිනයක් දිනා ගැනීම සඳහා වැඩකරන ජනතාව ජීවිත, ලේ, දහඩිය, අසීමිත ලෙස පරිත්‍යාග කරමින් දගු කලක් තිස්සේ නොනැවතී ජයග‍්‍රහණය තෙක් පෙරට ගෙන ගිය කටුක අරගලයේ ඉතිහාසයයි. එහෙත් මේවන විට ධනවාදී ලෝකය වෙළාගෙන ඇති ලෝක ආර්ථික අවපාතය විසින් වැඩකරන ජනයා අතීතයේදී දිනාගත් අයිතීන් පවා අහිමි කෙරෙමින් තිබේ; ආපසු උදුරා ගැනෙමින් තිබේ. මෙවර ලොව පුරා වැඩකරන ජනතාව මැයි දිනය සමරන්නේ  එවැනි තත්වයක් තුළය. ධනවාදය විසින් අහිමි කරමින් සිටින තම අයිතීන් ලබාගැනීම සඳහාත් වඩා යහපත් අනාගතයක් නිර්මාණය කරගැනීම සඳහාත් මෙවර මැයි දිනයේදී සිය ශක්තිය ඒකරාශී කරන, සටන්කාමිත්වයට පණ පොවන, ලොව පුරා වැඩකරන ජනතාව සමඟ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ලාංකේය වැඩකරන ජනයාද අත්වැල් බැඳගනී.
මහින්ද රාජපක්‍ෂගේ අධිරාජ්‍යගැති ධනපති පාලනය යටතේ මේ වන විට ශී‍්‍ර ලංකාව විශාල සමාජ ආර්ථික, දේශපාලන හා සදාචාරමය අර්බුද රැසකට මුහුණ දී සිටී. රට ආර්ථික වශයෙන් දැවැන්ත විදේශ ආදායම් හිඟයකට මුහුණ දී ඇත. එනිසා මේ රට විදේශ ණය උගුලකට හසුවී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අධිරාජ්‍යවාදී ආයතනවලින් හා වාණිජ බැංකුවලින් ණය ගන්නා ආණ්ඩුව දැන් කල් පිරෙන ණය හා ණය සඳහා වූ පොලියද ගෙවීම සඳහා තවත් ණය ගන්නා තැනට වැටී ඇත. ඒ සඳහා වූ කොන්දේසි අනුව ශී‍්‍ර ලංකා රුපියලේ අගය එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් ඉදිරියේ පහත දමනු ලැබේ. මේ අතර දේශීය කර්මාන්ත, ව්‍යාපාර, කෘෂිකර්මාන්තය හා සේවා වේගයෙන් කඩා වැටේ. ජාතික ආදායම පහත වැටේ. මේ තත්වය තුළ ආණ්ඩුව එහි ආදායම වැඩි කරගන්නේ ජනතාවට දරන්නට නොහැකි අන්දමට බදු වැඩි කිරීමෙන්ය. ඒ අතර ආණ්ඩුවේ වංචා දූෂණ හා වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති නිසා  පාඩු ලබන රාජ්‍ය ආයතනවල බරද අනුකම්පාවකින් තොරව ජනතාව මත පැටවීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. විදුලිය ගාස්තු වැඩිකිරීම එහි අලුත්ම උදාහරණයයි. ජීවන වියදම ඉහළ යාමත් වැටුප් හෝ ආදායම් ඉහළ නොයාමත් නිසා ජනතාව එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි පීඩාකාරී තත්වයකට පත්ව තිබේ.
ශී‍්‍ර ලංකාවේ ස්වෛරීභාවය හා අභිමානය ආරක්‍ෂා කිරීමට අසමත් වී ඇති මහින්ද රාජපක්‍ෂ පාලනය විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ඉන්දීය ආධිපත්‍යවාදය ඉදිරියේ ශී‍්‍ර ලංකාව බාල්දු කර ඇත. අධිරාජ්‍යවාදීන්ට ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර දී ඇත. ඒ තුළ ලංකාව අධිරාජ්‍යවාදයේ ගොදුරක් වීමේ අවදානම මතුවී තිබේ.
ලාංකේය ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්, මානව අයිතීන්, උදුරා ගන්නා මහින්ද රාජපක්‍ෂ පාලනය විරුද්ධවාදීන් හා තමන්ට අවනත නොවන අය සැලසුම්සහගතව මර්දනය කරමින් ආණ්ඩුවේ මැරයන්ට නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ සකසමින් රාජපක්‍ෂ පවුලේ ඒකාධිපතිත්වයකට රටත් ජනතාවත් යට කරමින් තිබේ.
උතුරු නැගෙනහිර ජනතාවගේ මූලික වුවමනා ඉටු කරමින් ජාතික සමගිය, සමානාත්මතාවය හා ප‍්‍රතිසන්ධානය ස්ථාපිත කිරීමට අසමත් වූ ආණ්ඩුව ජාතිවාදය හා බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ඇත. උතුරේ ජනතාව මත පටවා ඇති අර්ධ මිලිටරි පන්නයේ බලහත්කාරය දිගටම පවත්වාගෙන යන ආණ්ඩුව ජාතිවාදය ඇවිළවීමට අමතරව දැන් රටපුරා ආගමික අන්තවාදයන් ඇවිළවීමටද පටන්ගෙන ඇත.
ජනතාවගේ මූලික අවශ්‍යතා වන කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, අධ්‍යාපනය රැුකී රක්‍ෂා ආදිය සැපයීමට මහින්ද රාජපක්‍ෂ පාලනයට නොහැකි නිසා  සමාජ ප‍්‍රශ්න උග‍්‍ර වී තිබේ; අපරාධ වැඩිවී තිබේ; දිවි නසාගැනීම් වැඩිවී තිබේ.
ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අසමත්ව ඇති රාජපක්‍ෂ පාලනය රට තුළ උත්සන්න වන අපරාධ වැළැක්වීමට අසමත්ව සදාචාරමය වශයෙන් රට ප‍්‍රපාතයකට හෙළා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා තවත් එවැනි අධිරාජ්‍යවාදී ආයතන හා එක්ව හවුලේ ශ‍්‍රී ලංකාව ආර්ථික, දේශපාලන, සමාජමය හා සදාචාරමය වශයෙන් බංකොලොත්භාවයට පත්කරනු ලැබූ අධිරාජ්‍යගැති, ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයටවත් එක්සත් ජාතික පක්‍ෂයටවත් විවිධ කල්ලි කණ්ඩායම්වල අවස්ථාවාදී රංචුගැසීම්වලටවත් ශී‍්‍ර ලංකාව මේ වැටී ඇති බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට නොහැකි බව සහතිකය. ලංකාව මුහුණ දී ඇති අර්බුදයන්ගෙන් හා අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලින් මුදාගැනීම සාක්‍ෂාත් කිරීමට හැක්කේ, අධිරාජ්‍යවිරෝධී ධනවාදවිරෝධී අරගලයේ ජයග‍්‍රහණය තුළින් පමණි. ඒ සඳහා පුළුල්තම අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා  ලාංකේය කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩකරන ජනතාව පෙරමුණ ගත යුතුව ඇත. මෙම මැයි දිනයේදී වැඩකරන ජනතාවගේ අධිෂ්ඨානය විය යුතුව ඇත්තේ එයයි.
එම නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් දැනටමත් ගොඩනැගෙමින් තිබෙන  අධිරාජ්‍යවිරෝධී, ධනවාදීවිරෝධී පුළුල් පෙරමුණ වටා මතවාදීමය වශයෙන් හා සංවිධානමය වශයෙන් වහාම පෙළ ගැසෙන ලෙසත් ජයග‍්‍රහණය දක්වා සටන් වදින ලෙසත් ශී‍්‍ර ලංකාවේ  වැඩකරන ජනතාවට, ගොවි ජනතාවට, ධීවර ජනතාවට, කාන්තාවන්ට, තරුණයන්ට, ශිෂ්‍යයන්ට, වෘත්තීයවේදීන්ට, තාක්‍ෂණවේදීන්ට, සාහිත්‍ය කලාසූරීන්ට, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට, මානව හිතවාදීන්ට, පරිසර හිතවාදීන්ට ජනතා විමුක්ති පෙරමුණ මෙම මැයි දිනයේදී ආරාධනය කරයි.
අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට විමුක්තිය!
ධනවාදයට විනාශය - සමාජවාදයට විජයග‍්‍රහණය!!

No comments:

Post a Comment