Sunday 19 May 2013

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුපෙන් 20% ක් කප්පාදු කිරීමට ආණ්ඩුව සැරසෙයි

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයක් අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප 20% කින් කප්පාදු කර ඇතැයි සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි. එම සංගමය මගින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් මේ බව පැහැදිලි කර සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන්වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක‍්‍රලේඛයක් අනුව රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 9/2004 අනුව ගෙවන ලද වැටුප නැවත අයකර ගැනීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව රා.ප. චක‍්‍රලේඛ 9/2004 මගින් 2005. 01. 01 දිනට 20% ක වැටුප් වැඩිවීමක් සිදුකරන ලදී. ඒ අනුව අතිකාල, නිවාඩු දීමනා ඇතුළු සියළු දීමනාද වැඩිකරන ලදී. මෙම චක‍්‍රලේඛය සෞඛ්‍ය සේවාවේ පැවති වැටුප් විෂමතා නිරවුල් කිීම සඳහා කරන ලද දීර්ඝ මැදිහත්වීමකින් පසු නිකුත් කරන ලද චක‍්‍රලේඛයකි. නමුත් මේ වන විට එම විෂමතාවය පිළිබඳ ගැටළුව සැලකිල්ලට නොගෙන ගෙවන ලද වැටුප කප්පාදු කිරීමට තීරණය කොට ඇත. ඒ අනුව 2004. 12. 01 දින සිට 2007 ජන. 01 දින දක්වා වැටුප් පරිවර්තනය කරන ලද වෛද්‍යවරු හැර සියළු කාර්ය මණ්ඩලයේ වැටුප් 20% කින් කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත. තවදුරටත් අදාල කාල වකවානුව තුල ගෙවා ඇති අතිකාල නිවාඩු දින දීමනා අමතර දීමනා ඇතුළු සියළු වියදම්වලින්ද 20% ක් මෙලෙස නැවත අයකර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෑම සේවකයකුම ලක්‍ෂයකට අධික මුදලක් හිඟ මුදල් වශයෙන් නැවත අය කර ගැනීමට තීරණය කර තිබේ.
ජීවත් වීමට නොහැකිව දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩාවට ලක්ව සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් මේ ආකාරයට ගෙවමින් සිටින වැටුපක් හිඟ මුදල්ද ඇතුළුව නැවත අය කර ගැනීමට බරපතල ගැටළුවක් බව පෙන්වා දෙමු. වියදමට සරිලන ලෙස  වැටුප් වැඩිවීමක් අපේක්‍ෂාවෙන් සිටින ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තමන් ලබා ගන්නා ලද වැටුප් වැයත ගෙවීමට සිදුවීම මාරාන්තික පහරක් ලෙස අප පෙන්වා දිය යුතුව ඇත. එම නිසා වහාම මෙම වැටුප් දීමනා නැවත අය කර ගැනීම අත්හිටුවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින අතර වහාම මෙම චක‍්‍රලේඛය අහෝසි කරන ලෙස අප දැඩිව ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් අඛණ්ඩ වැඩවර්ජනකට යෑමටද සිදුවන බවද දැනුම් දෙමු.

No comments:

Post a Comment