Tuesday 28 May 2013

21 වර්ජනයට සහා දුන් රාජ්‍ය සේවකයන්ට තර්ජන

21 වර්ජනයට සහය දුන් නිසා තංගල්ල ගෝඨයිම්බරගම විදුහලේ විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට එරෙහිව තර්ජන එල්ලවෙමින් පවතින බව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව මාධ්‍යනිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කැඳවුම්කාර කමිටුවේ මුදිත කුණාමුනි, කේ. වේලායුදන්, මහින්ද ජයසිංහ, චන්දගුප්ත තේනුවර, සුනිල් ද සිල්වා, ඇන්ටන් මාකස්, වසන්ත සමරසිංහ යන සාමාජිකයින්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
විදුලි ගාස්තු ඉහළ දැමීම අහෝසි කරන ලෙස පසුගිය මැයි 21 දින වෘත්තීය සමිති ඒකාබද්ධව සිදු කළ එක් දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ලෙස මෙරට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දායක විය.
මෙම වැඩ වර්ජනයට සිය දායකත්වය සපයමින් එය සාර්ථක කිරීමට එක්වූ දිවයිනේ පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉලක්ක කරගනිමින් ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් ඉටුකරන නිලධාරීන් හරහා ඔවුන් වෙත විවිධ තර්ජන එල්ල කරමින් සිටී.
තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක් වන රන්න ගෝඨයිම්බර විද්‍යාලයේ විදුහල්පති හා ගුරුවරුන් වෙත ආණ්ඩුවේ මෙහෙයවීමෙන් කි‍්‍රයාකරන ප‍්‍රදේශයේ නිල් බලකායේ යැයි කියාගන්නා මැරයින් පිරිසක් විසින් තර්ජන ගර්ජන එල්ල කරන බව වාර්තා වේ. මීට හේතුව වී ඇත්තේ මැයි 21 වැනි දින වැඩ වර්ජනයට මෙම විදුහලේ ගුරුවරුන් සම්පූර්ණයෙන්ම දායකත්වය සැපයීමයි. මෙම විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් 18 දෙනාම ස්ථාන මාරු කරන බවටද මේ වනවිට තර්ජනය කර ඇත.
මැරයන්ගේ මැර තර්ජන ගර්ජන හේතුවෙන් බියට පත්වූ ගුරුවරුන් හා විදුහල්පති දැඩි පීඩාවකට පත්ව සිටින අතර පාසලේ අධ්‍යාපන කටයුතුද මේනිසා බිඳ වැටෙමින් පවතී. පසුගිය කාලයේ අන්තයටම පිරිහී තිබූ පාසලක් වන මෙය වත්මන් විදුහල්පතිගේ මගපෙන්වීම හා ගුරුවරුන්ගේ නොමද දායකත්වය යටතේ ප‍්‍රදේශවාසීන්ගේ ජනාදරයට පත් පාසලක් බවට කෙටි කලකින් පත්වූ අතර පාසල තුළ දරුවන් උදෙසා සාර්ථක සුභ සාධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරමින් ඉහල ශිෂ්‍ය සංඛ්‍යාවක වර්ධනයක් පාසලට ළඟා කරදීමට ද පාසලේ වත්මන් පරිපාලනයට හැකිවී තිබේ. එසේ තිබියදී ආණ්ඩුවේ ආශිර්වාදය සහිත මෙම මැරයන්ගේ කි‍්‍රයා කලාපය හේතුවෙන් පාසල යළි පිරිහීම දක්වා ගමන් කරන බවට ප‍්‍රදේශවාසීන්ගේ සැක පහල වී තිබේ.
වැඩ වර්ජනය අසාර්ථක බවට ආණ්ඩුව විසින් දිගින් දිගටම සිය සහචරයන් සහ රාජ්‍ය මාධ්‍ය මගින් ප‍්‍රකාශ කළද එහි සාර්ථකත්වය හා ඊට ආණ්ඩුව කොතරම් බිය වූයේද යන්න මෙම සිද්ධිය මගින් තවදුරටත් තහවුරු කර ඇත.
වැඩ වර්ජනය කිරීමේ අයිතිය රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවා මගින්ද තහවුරු කර ඇති අතර යම්කිසි හෙයකින් මෙම විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් ස්ථාන මාරු කිරීමට හෝ වෙනත් දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා බවද ඒ සඳහා ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බවද වැඩිදුරටත් අවධාරණය කරමු.

මේ බව අවධාරණය කරමින් අප වෘත්තීය සමිති එකාබද්ධයේ පාර්ශවකරුවකු වන ලංකා ගුරුසේවා සංගමයද තංගල්ල කලාප අධ්‍යක්‍ෂ වෙත ලිඛිත දැනුම්දීමක්ද සිදුකර තිබේ.

No comments:

Post a Comment